අධිකරණයට අසත්‍ය තොරතුරු ලබා දී නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදියකුට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනයදා මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන්ගේ නිවසට නිල ඇදුමින් පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඔහුට ලබා දී ඇත්තේ නැති උද්ඝෝෂණයක් තහනම් කරමින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකි.
දෙමළ ජාතික සන්ධානය සහ තවත් සංවිධාන කිහිපයක් එකතුව ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනයට විරෝධය පළ කරමින් ජනතාව සහ ආගම් අතර ගැටුම් ඇති කිරීමට හේතු වන ආකාරයේ පා ගමනක් කල්ලඩි පාලමේ සිට මඩකපුව මහත්මා ගාන්ධි උද්‍යානය දක්වා සංවිධානය කර ඇති බවට රජයේ බුද්ධි අංශ වෙත "විශ්වසනීය තොරතුරු" ලැබී ඇති බව අධිකරණ නියෝගයේ සඳහන්ය.
පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ ඊයේ (04) දිනයේ මඩකලපුව ප්‍රදේශය තුළ එයාකාරයේ කිසිදු විරෝධතාවයක් දියත් වූ බවක් ඊයේ හවස් වන තෙක් තමන්ට වාර්තා වී නොමැති බවයි.
රට තුළ සහ රටින් පිටත ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් වන බැවින් මෙවැනි උද්ඝෝෂණ සහ විරෝධතා පා ගමන් වලක්වන්නට නියෝග කරන ලෙස මඩකලපුව මුලස්ථාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි ඉල්ලා ඇති බව අධිකරණ නියෝගයේ තව දුරටත් සදහන් වේ.
මඩකලපුව මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික හා ප්‍රදේශයේ ක්‍රියාකාරී නිදහස් මාධ්‍යවේදියකු වන පුන්‍යමුර්ති සසිකරන් විසින් විරෝධතා වාර්තා කිරීම වැලැක්වෙන ආකාරයෙන් මීට ඉහතදී අධිකරණ නියෝග කිහිපයක්ම ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුනි.
දෙමළ හා මුස්ලිම් ජනයා එක්ව 2021 වසරේ පෙබරවාරි 03 වැනිදා පොතුවිල් නගරයෙන් ආරම්භ කරන ලද P2P යනුවෙන් නම් කෙරුණු පස් දින පාද යාත්‍රාව වාර්තා කිරීම තහනම් කරමින් මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන් ට එරෙහිව අධිකරණ 12 ක් මගින් තහනම් නියෝග ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුනි.
එමෙන්ම පසුගිය සමයේ අවස්ථා කිහිපයකදීම පොලිස් ප්‍රශ්න කිරීම්වලට මාධ්‍යවේදි පුන්‍යමුර්ති සසිකරන් ලක් විය.
එම මාධ්‍යවේදියා නිතර විමර්ශනවලට ලක්කිරීම හා හිරිහැර කිරීම මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සමයේ දැඩි ලෙස හෙළා දැක තිබුණි.