වැඩ වර්ජනයේ අයිතිය ව්‍යවස්ථාවෙන් තහනම් කළ යුතු බවට කියන අධිකරණ ඇමැතිගේ ප්‍රකාශය හෙළා දකින වෘත්තීය සමිති ඒ ගැන ආණ්ඩුවේ ස්ථාවරය

පැහැදිලි කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා තිබේ.

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක් වූ අධිකරණ ඇමැති අලි සබ්රි ඉකුත් 27 වැනිදා ප්‍රකාශ කර තිබුනේ වැඩවර්ජන තහනම් කිරීමට අදාළ නීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතු බවයි.

''මහජන ජන්දයකින් නොව දේශපාලන පක්ෂයකට 'වන්දි භට්ටකම්' කිරීමෙන්, වසර පහකට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස අලි සබ්රි පත්ව සිටී. වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමති ලෙස  සිටින අයෙකු වශයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කිරීමට ඇති ආධිපත්‍ය ආරක්ෂා කිරීම ඔහුගේ වගකීමක් යැයි අප සිහිපත් කරන්නෙමු.''යි  වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන 21 කින් සමන්විත  'පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය' නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

''වැඩවර්ජනය කිරීමට ඇති අයිතිය වැඩකරන ජනතාව දිනා ගත් ඓතිහාසික විශ්ව ජයග්‍රහණයකි. ලෝ පුරා කම්කරු ජනයා අද දවසේ භුක්ති විඳින අයිතීන් හා වරප්‍රසාදයන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සියල්ල ලේ, කඳුලු, දහදිය තුළින් ලබාගත් ජයග්‍රහණයන්'' බව සිල්වෙස්ටර් ජයකොඩි සහ රන්ජන් සේනානායක සම කැඳවුම්කරුවන් ලෙස නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණය හා ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1948 වසරේ සම්මත කරනු ලැබූ සම්මුති අංක 87 හා 1949 සම්මත කරනු ලැබූ සම්මුති අංක 98 මගින් ලෝක වැඩකරන ජනතාවට සංවිධානය වීමේ අයිතිය සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරුකර තිබේ.

 

1978,  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14-1 වගන්තිය අනුව ද ඕනෑම පුරවැසියෙකුට සංවිධානය වීමේ හා වෘත්තීය සමිතියකට බැඳීමේ නිදහස සම්පූර්ණයෙන් ම තහවුරු කර කෙරෙන අතර 1935 සම්මත කළ වෘත්තීය සමිති ආඥා පනත මගින් ද වෘත්තීය සමිති පිහිටුවා ක්‍රියාත්මක කිරීම ගැන නීති රීති සම්පාදනය කොට ඇති බව 'පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය' අවධාරණය කරයි.

'බලයෙන් අන්ධව අත්තනෝමතිකව' ක්‍රියාකරන බවක් පෙන්නුම් කරන ඇමැති සබ්රිගේ මේ 'උද්ධච්ඡ ප්‍රකාශය' ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉවත් කරගන්නා ලෙස වෘත්තීය සමිති නායකයෝ බලකර  සිටිති.

මේ ප්‍රකාශය පිළිබඳව රජයේ සථාවරය පැහැදිළි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටින 'පොදුදේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය' ප්‍රගතිශීලි බලවේගයන්ට ඇරයුම් කරන්නේ  ජනතා පරමාධිපත්‍ය බලය අයතා ලෙස භාවිතාට වෙර දරණ මෙවැනි ඇමතිවරු ඇතුළු ප්‍රතිගාමී බලවේග පරාජය කිරීමට පෙල ගැසෙන ලෙසයි.

ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළඳ,කාර්මික හා පොදු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා වතු සේවා සංගමය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, වාණිජ හා කාර්මික සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් පොදු සේවක සංගමය, ස්වාධීන තටාක සේවක සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව, රක්ෂණ සේවක සංගමය, ආහාර බිම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය, රජයේ මුද්‍රණශිල්පීන්ගේ සංගමය, ශ්‍රීලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කාන්තා කම්කරු සහයෝගිතා සංගමය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සහ ප්‍රොටෙක්ට් සංගමයෙන් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය සමන්විතය.

 

 
 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්