ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) රට පුරා රැස්වීම් මාලාවක් සංවිධනය කර ඇත්තේ මැතිවරණයක් ඉල්ලක්ක කර ගනිමින් නොව රජයේ

දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා බව එම පක්ෂයේ මුලස්ථාන ප්‍රධානියකු 'ද ලීඩර්' වෙත පැවසිය.

ඔහු එබව කියා සිටියේ, ''බැසිල් ජනාධිපතිවරණ සටන අරඹයි ! - රට පුරා 'පොහොට්ටු' රැස්වීම මාලාවක්'' යන ශීර්ෂයෙන් යුතුව ඊයේ (පෙබ.06) 'ද ලීඩර්' හි පළවූ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

ආණ්ඩුව කොතෙක් වැඩ කලද එය ගම මට්ටමේ සිටින ජනතාව වෙත සන්නිවේදනය කිරීමට මේ දක්වා නොහැකිවීම සම්බන්ධයෙන් අවදානය යොමුකරමින් මුදල් අමාත්‍යවරයා මෙම රැස්වීම මාලාව සංවිධානය කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

බැසිල් රාජපක්ෂගේ "අයවැයෙන් වැඩ ලක්ෂයක්" මෙහෙයුම සම්බන්ධයෙන් ඉෂාන් ජයසූරිය නමැත්තකු විසින් ලියන ලද ලිපියක් ද ඔහු විසින් අප වෙත යොමුකර ඇත.

සංවර්ධන දේශපාලනයේ නියමුවා (Leader of Development Politics)- බැසිල්ට මල් මිටක්! යන ශීර්ෂයෙන් යුතුව යොමුකර ඇති එම ලිපිය පහත පළවේ.


සංවර්ධන දේශපාලනයේ නියමුවා



පුරාණ ග්‍රීක ශිෂ්ඨාචාරයේ ප්ලේටෝලා, ඇරිස්ටෝටල්ලාගේ දාර්ශනික අදහස් මතින් ලෝකයට නූතන දේශපාලන සංකල්ප දයාද විය. ඉන්පසුව විවිධ දාර්ශනිකයන්ගේ, දේශපාලඥයන්ගේ අදහස් මතින් වර්තමාන යුගයේ දේශපාලන සංකල්ප ( Political Concepts ) දක්වා එය විකාශය විය.

එලෙස ක්‍රමයෙන් විකාශය වී දේශපාලනය අද වන විට ලොව දියුණු නවීන රටවල ක්‍රියාත්මක "සංවර්ධන දේශපාලනය" ( Development Politics ) දක්වා යාවත්කාලීන වී තිබේ. ලොව නූතන බොහෝ දෑ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර කිහිපයක් එසේ නැතිනම් දශකයක් දෙකක් ප්‍රමාද වීය. ඒ දකුණු ආසියාතික දූපතක් වන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ස්වභාවයයි.

එසේ වූවත් පුදුමයකි, නවීන "සංවර්ධන දේශපාලන" සංකල්පය ලෝකය හා සමාන්තරවම මෙරටත් ගමන් කරමින් තිබේ. එම අරුමයට හේතුව අද අප කතානායකයා‍ය.

ඔහු නම් ශ්‍රී ලංකාවට සංවර්ධන දේශපාලනය හඳුන්වා දුන් කවදත් ගම ගොඩ නැගීම විශ්වාස කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂය. වර්තමාන දේශපාලනයේ කාර්යශූර, කාර්යක්ෂම සහ නිර්මාණශීලීම ( Efficient and Creative ) නායකයා ලෙසින් පක්ෂ විපක්ෂ සැවොම තර්කයකින් තොරව පිළිගන්නා බැසිල් රාජපක්ෂය.

 

බැසිල් රාජපක්ෂ අපූරු මිනිසෙකි. දේශපාලනයත්, සංවර්ධනයත්, නොම්මරත් පිළිබඳ මහා කියවීමක් ඇති ඔහු රට සංවර්ධනය කිරීම පිළිබඳ විශ්වාස කරන්නේ වර්තමාන දේශපාලන විද්‍යාඥයන්, දාර්ශනිකයන් විසින් නිර්දේශ කරනා සහ පිළිගන්නා නූතන ආර්ථික සංවර්ධන මොඩලයයි ( Modern Development Economic Model ) .

 

බැසිල් රාජපක්ෂ ඇරඹූ "දිවි නැගුම", "ගම නැගුම" වැඩසටහන් වල පටන් තිබුනේ ගමේ ආර්ථිකය සවිමත් කිරීමයි. ඔහු රෝග නිධානයට වෙදකම් කර සුව කරනා අපූරු වෙදෙක් වැනිය. කුටුම්භයේ ආර්ථිකය සවිමත් කොට, ඉන්පසුව ගම සමෘද්ධිමත් කළ පසුව ක්‍රමයෙන් රට සංවර්ධනය වීම නියතයක් බව බැසිල් අත්දැකීමෙන් දනියි.

මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ගේ සමයේ මෙරට සංවර්ධන දර්ශක  සියල්ලම ඉහළ යන්නේ, ඒක පුද්ගල ආදායම ඉහළ යන්නේ, විරැකියාව පහල බසින්නේ බැසිල්ගේ මේ ගම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලිනි. ගමෙන් පැමිණි නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ආර්ථිකය සවිමත් කිරීමේ වගකීම බැසිල් රාජපක්ෂට භාර දෙන්නේ ඔහු සිය සොහොයුරා වූ පමණින් නොවේ.

ආර්ථික සංවර්ධනය පිළිබඳ මහින්ද රාජපක්ෂ ජනපතිඳුන් පවා විශ්වාස කළ මොඩලය වූයේ බැසිල්ගේ මෙම ග්‍රාම ආර්ථික සංවර්ධන ( Development of Village Economy ) වැඩ පිළිවෙල නිසාවෙනි.

රටත්, ආර්ථිකයත් වලපල්ලට යැවූ යහපාලන කැඳ හැළියට පිං සිදු වන්නට යළිත් ආර්ථිකය වල පල්ලට වැටුනු, පන අදිමින් කෑ ගසනා රටක් රාජපක්ෂ සොහොයුරන්ට භාර වී තිබේ. ලොවම ගිලගත් වසංගතයක් පැමිණීමත් එම අර්බුධ තවත් උග්‍ර වීමට බලපෑවේය.

 

දැන් ඇරඹී තිබෙන්නේ බැසිල් රාජපක්ෂගේ දෙවෙනි වරමයි. කවදත් නිර්මාණශීලි බැසිල් මෙවරත් අලුත් වැඩකින් කරළියට පැමිණ තිබේ.

 

ඒ "අයවැයෙන් වැඩ ලක්ෂයක්" ( 100K Projects from Budget 2022 ) ව්‍යාපෘතියයි. බැසිල්ගේම මොඩලයට නිර්මාණය වූ බැසිල්ගේම සංකල්පයක් වන මෙම වැඩපිළිවෙලින් ගම් ලක්ෂයක ව්‍යාපෘති ලක්ෂයක් සෑදේ. මෙවර අයවැයේ ප්‍රමුඛ ව්‍යාපෘතිය වූයේ මෙයයි.

මෙමගින් සෑම ගමකම අත්‍යවශ්‍යයම දේ ජනතාව, ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිළධාරීන් එක්ව තීරණය කරයි. එය පානිය ජල ව්‍යාපෘතියක්, මහා මාර්ගයක්, පාසලක්, ක්‍රීඩා පිටියක් හෝ ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් විය හැක. ජනතාව තෝරා ගන්නා මෙම අවශ්‍යතාව ඉටු කිරීමට මේ වැඩසටහනෙන් අරමුදල් සැපයේ. එහි අරමුදල් පාලනය කෙරෙන්නේ රාජ්‍ය නිළධාරියෙකු වන දිස්ත්‍රික් ලේකම්වරු හරහාය.

මෙමගින් යළිත් ගම වැඩ බිමක් වී රැකියා ඇරඹීම, ගමට මුදල් ගලා යාම සිදු වනවා මෙන්ම ගමේ ප්‍රශ්නයක්ද විසඳී අවසානයේ ගම් ලක්ෂයක් එක්වූ තැන වසරකින් වෙනස්ම ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇත.

ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ගිය මග ගොස්, ආර්ථිකය ගොඩ දැමීමේ වගකීම බැසිල්ට භාර දුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් තමන් වෙත තැබූ විශ්වාසය සිය දහස් ගුණයකින් බැසිල් රැක ඇත්තේ එලෙසය.

මුදල් ඇමති වශයෙන් රටේ සංවර්ධන ඉලක්ක මෙන්ම ( National Development Goals ), පොහොට්ටුවේ නිර්මාතෘ වශයෙන් පොහොට්ටුවේ දේශපාලන ඉලක්කත් මෙම වැඩසටහනෙන්ම බැසිල් සපුරා තිබීම විශ්මයජනකය.

පුදුමයට කරුණ එය පමණක් නොවේ. මෙම ව්‍යාපෘති ලක්ෂය ක්‍රියාත්මක කෙරෙද්දි, නවීන තාක්ෂණය ඇසුරින් එහි මෙහෙයුම් සිදු කිරීමත් අපුරූය. මෙම ව්‍යාපෘති ලක්ෂයම බැසිල්ට සිය පක්ෂ මූලස්ථානයේ සිටිමින් අධීක්ෂණය කළ හැකි ලෙසට නවීන තාක්ෂණය යොදා ගනිමින් කේන්ද්‍ර ගත කර තිබේ. මේවා බැසිල්ට පමණක් කළ හැකි වැඩය.

 

මෙම වැඩසටහන අවසානයේ ගමේ රැල්ල වඩා සවිමත්ව පොහොට්ටුව වටා එකතු වනවාට සැකයක් නැත. විපක්ෂය මෙම වැඩසටහනටත්, බැසිල්ගේ මුදල් ඇමති තනතුරටත් මෙතරම් බිය ඒකය.

 

අනෙක් පසින් පෙබරවාරි නවය සිට යළිත් මහා රැළි ආරම්භ කරමින් ජන මතය දිනා ගැනීමේ සංග්‍රාමය බැසිල් අරඹෙන්නේත් "අයවැයෙන් වැඩ ලක්ෂයක්" වැඩසටහනට සමගාමීවය.

සංවර්ධන දේශපාලනයෙන් බැසිල් රටත්, පක්ෂයත්, රජයත්, ජනතාවත් ගොඩදමන්නේ එලෙසය. මෙවන් ශූර දේශපාලකයෙක්, නායකයෙක්, ජනතා නියෝජිතයෙක් මේ අර්බුධ සමයේ රටේ මුදල් අමාත්‍යවරයා වීම රටේත්, ජනතාවගේ වාසනාවය. ඒ බව හොඳින් දන්නා විපක්ෂය ඔහු ඉලක්ක කරමින් නොයෙකුත් අවලාද, මඩ ප්‍රහාර දියත් කරමින් සිටියි.

එනමුත් බුද්ධිමත් මහ ජනතාව ඔහු වටා සිටිමින් මේ අර්බුධ සමයේ තමන් සහ රට ගොඩ දමනා නායකයා ආරක්ෂා කිරීමට එක්වෙමින් තිබීම රටේ වාසනාවය.

ඉතින් මහ ජනතාව වෙනුවෙන් ඒ මහා මිනිසාට, නායකයාට, දැක්මක් ඇති ඇමතිවරයාට ස්තූති කිරීමට මෙම සටහන අවස්තාවක් කර ගනිමි. 

 
බැසිල්, රට වෙනුවෙන් ඔබට ස්තූතියි!''

(ඉෂාන් ජයසූරිය)



සබැඳි ලිපිය :
 
 
 


Leader Whats app

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්