මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා‌ ගත් යල් පැන ගිය අවසරයක් භාවිත කරමින් ඌව වෙල්ලස්ස බින්තැන්නේ පාරම්පරික ගොවීන්ගේ අක්කර පන්සීයකට

වැඩි ප්‍රමාණයක් කාසි බෝග සඳහා විදේශිය ආයෝජකයන්ට ලබා දීමට කටයුතු කරමින් සිටින බවට පරිසර සංවිධානයක් ආණ්ඩුවට චෝදනා කරයි.

 'පරිසර  හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය' පෙන්වා දෙන්නේ ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර පන්සිය හැත්තෑ දෙකක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිශ්පාදනය සදහා ලබාදීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින බවයි.  

 

''IMS හොල්ඩින් සහ සිංගප්පූරුවේ ගැසල්ස් වෙන්චර් සමාගම ආයෝජකයන් වශයෙන් බිබිල සිනි ව්‍යාපෘතිය සදහා ඉදිරිපත්ව සිටී.''

 

නිවේදනයක් නිකුත් කරමින් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ, 2013 වසරේ අසම්පූර්ණ පරිසර තක්සේරු වාර්තාවක් සිදුකරමින් බිබිල සිනි සමාගම ඉහත උක්වගා ව්‍යාපෘතියට හා සිනි නිශ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීම සදහා අක්කර තුන්සියයක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ඉල්ලා තිබු බවයි.

 2017 වර්ෂයේ ජුනි 29 දින බිබිල සීනි සමාගම වෙත මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර ඇති අන්දමට වසර තුනක් ඇතුළත මෙහි ඉදිකිරීමට අවසර දී ඇති බවත් ඉන්පසුව මෙම අවසරය වලංගු නොවන බවත් පරිසර අධිකාරිය යැවු අවසර ලිපියේ සදහන් කර ඇති බව පරිසරවේදියා වැඩි දුරටත් පෙන්වා දෙයි.

''ඒ අනුව මෙම අවසරය වලංගු වන්නේ 2013 වසරේ පරිසර තක්සේරු වාර්තාව කල වසරේ සිට නම් එම අවසරය 2016 වසරේ අවසන් වේ. ඉහත අවසරය වලංගු වන්නේ මෙම ලිපිය නිකුත් කල දා සිට නම් එම අවසරය 2020 වසරේ අවසන් වේ."

යල් පැන ගිය අවසර ලිපියක් භාවිතා කරමින් දේශපාලන සහයෝගය ඇතිව බිබිල සීනි සමාගම 2023 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටින බවට 'පරිසර  හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය' සිය නිවේදනය මගින් වැඩි දුරටත් සදහන් කරයි.

 

ඒම නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙන්නේ, මෙය මධ්‍යම පරිසර අධිකාරියේ නීති රෙගුලාසි වලට පටහැනි අතර මේ මගින් ජාතික පාරිසරික පනත ද  උල්ලංඝනය වන බවයි.

 

''රිදීමාලියද්ද බින්තැන්නේ දෙහිගම ගම්වාසින්ගේ පාරම්පරික ඉඩම් මෙලෙස නිසි පරිසර තක්සේරු වාර්තාවක් වත් නොමැතිව බහු ජාතික සමාගම් වෙත ලබා දීමට මේ රජය දේශපාලනිකව බිබිල සීනි සමාගමට උපකාර කරමින් ඇත. ''

 මාදුරු ඔය ගංගා නිම්නයේ ඉතා සාරවත් ඉඩම් ලෙස පැවති මෙම පාරම්පරික ඉඩම් ගොවි ජනතාවගෙන් උදුරගෙන උක් වගාව සඳහා ලබාදෙන්නේ  2011 වසරේ සිට 2050 දක්වා රජය දියත් කරමින් සිටින ජාතික භෞතික සැළසුම අනුව බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් තව දුරටත් සදහන් කරයි.

''ඒ සැළසුම් කර ඇති ආකාරයට වී සහ දේශිය වගාවන් කිරීම වෙනුවට සමාගම් වලට වැඩි ලාභයක් ලබාගත හැකි ඒක භෝග වගාවට ඉඩම් ලබාදීම රජයේ ප්‍රමුඛ  කාර්යකි.''

 ඒ අනුව පුරාණ ඌව වෙල්ලස්සේ, බින්තැන්න ප්‍රදේශයට අයිති රිදීමාලියද්ද දෙහිගම පිහිටි මෙම ඉඩම් සිංගප්පූරු ගැසල්ස් වෙන්චර් සමාගම වෙත අනවසරයේ ලබාදීම මේ වන විට සිදු කරමින් ඇති බව  'පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය' වැඩි දුරටත් අවධාරණය කරයි.  

ඡායා : උපුටා ගැනුණි

 


Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්