මිනිස් ජිවිත අහිමිවුවද අනවසර ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා පැමිණීම වළක්වා ගැනීමට ආණ්ඩුව සමත් නොවූ බවට ධීවර නායකයකු චෝදනා කර තිබේ.



 දශක ගණනාවක් පුරා පවතින අනවසර ඉන්දීය ධීවරයන්ගේ මුහුදු කොල්ලය නවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින් යාපනේ ධීවරයන් අරඹා ඇති උද්ඝෝෂණයට සහාය පිණිස ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ මන්නාරම් ධීවර සංගම් නියෝජිතයෝ ද එක්ව සිටිති.

''අපේ ධීවරයෝ මුහුණ දෙමින් සිටින ප්‍රශ්න ආණ්ඩුවටත්, අනෙක් වගකිව යුතු පාර්ශවලට දැනුම් දුන්නත් ඒ ගැන තැකීමක් නැහැ.'' යි උතුරු පළාත් ධීවර සංගමයේ, මන්නාරම් දිසා සංගමයේ සම සභාපති මොහොමඩ් අලාම් පවසයි.

 

වඩමාරච්චියේ වත්තිරායන්හි  පදිංචි ජෝශප් ප්‍රේම්කුමාර් සහ අරුන් කුමාර් තනියෛමාරන් නම් ධීවරයන් යාත්‍රා කළ බෝට්ටුව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක ගැටී ඉකුත් 30 වැනිදා මුහුදු බත් විය. මියගිය ධීවරයන්ගේ සිරුරු වෙරළට ගසා ගෙන ඒමත් සමගම යාපනය අර්ධද්වීපයම උණුසුම් කරමින් විරෝධතා ඇරඹිණි.

 

පසුව පොලිසිය විසින් ලබා ගත් උසාවි නියෝගයකින් ධීවරයන්ගේ විරෝධතා යම් පමණකට පසු බැසීමට හේතුවූ බව යාපනේ මාධ්‍යවේදියෝ පවසති.

 තමිල්නාඩු ධීවර සංවර්ධන දෙපාර්තමේන්තුව වරක් ඉන්දීය ධීවරයන්ට මන්නාරම් මුහුදේ ට්‍රෝලර් යාත්‍රා කිරීම තහනම් කර තිබුනේ එහි බහුලව වෙසෙන ඩොල්පින්, තල්මසුන් වැනි සාගර ජිවින්ට හානි පැමිණෙන බැවිනි.

එහෙත් නීති නොතකා මෙරට මුහුදු සිමා පැන මත්ස්‍ය කොල්ලයේ යෙදෙන ඉන්දීය ධීවරයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමත් සමග උතුරේ ධීවරයන් ඉල්ලා සිටින්නේ දෙරට එකතුව මීට විසදුමක් ලබා දෙන ලෙසයි.

''ධීවරයන්ගේ ප්‍රශ්න වලට ඇහුම් කන් නොදෙන ආණ්ඩුව අපේ රට විදේශ වලට විකුණනවා. දැන් කොම්පැනිකාරයෝ මන්නාරම් දුපත අල්ලා ගන්න මාන බලමින් ඉන්නේ.''යැයි මන්නාරමේ ධීවර සංගම් නායක අලාම් සඳහන් කරයි.

 

මේ අතර ඉන්දියානු ධීවර ආක්‍රමණයට විසදුම් ඉල්ලා කොළඹ, මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යාශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඊයේ [08] පැවැත්වුයේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසිනි.

 

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා සමඟ  පැවති සාකච්ජා අසාර්ථක වූ බව ධීවර නියෝජිතයෝ මාධ්‍යයට පවසා තිබේ.

උතුරේ පවත්වන ලද එක් සාකච්ඡාවකදී අමාත්‍යවරයා ධීවර නායකයන්ගේ යෝජනාවලට කන් දෙනු වෙනුවට ඔවුන්ට තර්ජනය කොට කෝපයෙන් අතරමගදී නැගිට යනු දැක්වෙමින් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණු දර්ශන පෙළක් මහත් අවධානයට යොමුවිය.

 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්