බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් එම පල්ලියේ තවත් සේවකයෙකු අද මුදාහැරිණි.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය දුන් නියෝගයකට අනුව යි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පල්ලියේ සේවකයන් සිව්දෙනාම මේ වන විට මුදාහැර තිබේ.
ඔවුන් මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති බව පැවසූ නීතිපතිවරයා ඔවුන් මුදාහැරීමට උපදෙස් ලබාදී ඇත.
සිද්ධියේ විමර්ශන කඩිනමින් අවසන්කර අධිකරණයට කරුණු වාර්තා කරන්නැ යි ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද (පෙබ. 9) නියෝග කළා ය.
දේවස්ථානය තුළ ජීව අත්බෝම්බය තැබීමේ ක්‍රියාවලිය පිටුපස තවත් පිරිසක් සිටිනබව විමර්ශනවල දී පැහැදිලිව පෙනී යතැ යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පිරිස් අධිකරණය හමුවේ පවසා සිටියේ ය. මෙම සිද්ධිය මෙහෙයවූයේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය.
අධිකරණයට කරුණු වාර්තා කිරීමට සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියෙන්, විමර්ශන ප්‍රගතිය ලබන මාර්තු 29 දින අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කෙරිණ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පල්ලියේ සේවකයෙකු වන මුනෙන්ද්ර නැමැත්තා මුදාහැරීමට ද නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයට දන්වන ලදී.
විශ්ලේශකයින් පවසන්නේ මෙම සිද්ධියෙන් පොලිසිය මෙවැනි අවස්ථාවන්හිදී ක්‍රියා කරන ආකාරය හෙළි වී ඇති බවයි. ඔවුන් පවසන්නේ අසල සිටි අහිංසකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන එම සිද්ධියට සම්බන්ධ මහ මොළකරුවන් අල්ලාගත් බවට ජනතාවට හැඟවීම්ට කටයුතු කර ඇති බවත් එමගින් මෙම සිද්ධියේ සැබෑ මහ මොළකරුවන් නිදහස් වීමේ අවධානමක් පැවතිය බවයි. එහෙත් කර්ඩිනල් හිමිපාණන් ඇතුළු ක්‍රිස්තියානි පල්ලිය ක්‍රියා කළ ආකාරය හේතුවෙන් එහි සත්‍යය හෙළි කර ගත හැකි වූ බවයි.
වෛද්‍ය ශර්ලි හේරත් තවදුරටත් රැඳවුම් භාරයේ
සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින වෛද්‍ය ශර්ලි හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ පවසා සිටියේ, ඔහු සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය මේ වන තෙක් අධිකරණය වෙත වාර්තාකර නැතිබව යි.
වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ප්‍රගතිය ගැන ද අධිකරණය දැනුවත් කරන ලෙස ඔහු විමර්ශන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති විශ්‍රාමික වෛද්‍යවරයා, ප්‍රකට සමාජ මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ලෙස ද තරග කළ ඕෂල හේරත්ගේ පියා ය.
ඔහු ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා සිටියේ, "මම ජනාධිපතිවරයාගෙන් ආයාචනා කරනවා මගේ තාත්තාගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න කියලා. මේ දේ අද මට, හෙට ඔබට වෙන්න පුළුවන්. ඒ නිසා මගේ පියාගේ ජීවිතය අරක්ෂා කරන්න උදව් කරන්න පුළුවන් දෙයක් තියේනම් කරලා දෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. ඔහුගේ වයසට සහ තියෙන රෝගී තත්ත්වයන් නිසා ඔහුට වෛද්‍ය අධීක්ෂණයක් අවශ්‍ය යි. පිහිට වෙන්න," යනුවෙනි.
බලධාරීන් විසින් තම පියා රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ඔෂල හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලේ වෙත ද ලිපියක් යොමුකර ඇත.
මේ අතර, මෙම සිද්ධියට පල්ලියේ කිසිදු සේවකයෙකු සම්බන්ධ වී නැතැ යි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විමර්ශන ආරම්භයේ දීම පැවසූ කරුණ අද වන විට සනාථ වී ඇති බව ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න අද අධිකරණයේ දී පැවසීය.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ඉකුත් 04 වැනිදා පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයට ගොස් දේවස්ථානයේ බෝම්බය පිළිබඳ විමර්ශනවලට අදාලව රඳවා සිටින ෆැන්සිස් මුනීන්ද්‍රන් නැමැති දේවස්ථාන සේවකයා මුණගැසී සුවදුක් විමසා ඇත.
සිද්ධියෙන් දින දෙකකට පසු, අගරදගුරු හිමිපාණන් පැවසුවේ කොළඹ දේවස්ථානයකින් අත්බෝම්බයක් සොයා ගැනීම කුමන්ත්‍රණයක් බව යි.
විමර්ශනය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකා පොලිසියට දෝෂාරෝපණය කළ අතර, බලධාරීන්ට සත්‍යය හෙළි කිරීම වෙනුවට ගොතන ලද කතාවක් ඉදිරිපත් කළ බවට චෝදනාකර සිටියහ.
උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ පොලිස් පරීක්ෂණ පිළිබඳව සෑහිමකට පත්විය නොහැකිබව යි.
බොරැල්ල අත්බෝම්බය: පොලිස්පතිට එන්තරවාසියක්
මේ අතර, "අත්බෝම්බ හමුවීම සම්බන්ධයෙන් සැකසහිත කුමන්ත්රණකාරී තත්ත්වය ගැන පැමිණිල්ල යි" යන මැයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන්, චිරන්ත අමරසිංහ නැමති සමාජ ක්‍රියාකාරිකයකු පොලිස්පතිවරයා වෙත පෙබරවාරි 09 වැනිදා එන්නතරවාසියක් යවා ඇත.
නීතිඥ ආර්. එච්. සේනක පෙරේරා මාර්ගයෙන් ඔහු එම එන්නතරවාසිය යොමුකර තිබේ.
ඉන් දක්වා ඇත්තේ, තම සේවාදායකයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් නොකරන්නේ නම් හෝ එසේ කිරීම පැහැරහරින්නේ නම් පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට යි.
(BBC සිංහල සේවය)