සීමා මායිම් පැන ලංකා මුහුදේ මසුන් මරමින් සිටියදී අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයන්ගේ බෝට්ටු වෙන්දේසි කරන ලෙස කියා සිටියේ ඉන්දියාව බව

ලංකා ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ.

 මේ බව හෙළිදරව් වුයේ තමිල්නාඩු ධීවර සංගම් දහයක පමණ නියෝජිතයන් හා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අතර පසුගිය දා පැවති සාකච්ජාවක දීය.

''2020 අවුරුද්දේදී තමිල්නාඩු ධීවරයන්ටත්, ආණ්ඩුවේ පාර්ශවකරුවන්ටත් කොළඹ තියෙන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් දැනුම් දුන්නා ඔවුන්ගේ බෝට්ටු ලබා ගන්න කියලා. ඒත් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඒවා වෙන්දේසි කරන්න කියා ඉන්දීය මහ කොමසාරිස් ඉල්ලා සිටියා,''යැයි ධීවර ඇමැති මෙහිදී මුල්වරට අනාවරණය කර තිබේ.

 තමිල් නාඩුවේ සිටින ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩි. වෙන්කටේශ්වරන්  විසින් `සූම්` ඔස්සේ සංවිධානය කර තිබු මෙම හමුවේදී ධීවර සංගම් නියෝජිතයන් ඉල්ලා ඇත්තේ ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් තම බෝට්ටු සහ ධීවර ආම්පන්න වෙන්දේසි කිරීම ගැන යළි සලකා බලන ලෙසයි. වෙන්දේසිය අත්හිටුවීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු මහ ඇමැති එම් කේ ස්ටාලින් එරට අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් ලිඛ්තව ඉල්ලා තිබුණි.

 

කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්ගේ ඉල්ලීම පරිදි ධීවර අමාත්‍යංශය විසින් නිවේදනය කර සිටියේ නාවික හමුදාව අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන්ට අයත් බෝට්ටු 105 ක් වෙන්දේසි කරන බවය. එසේ වෙන්දේසි කිරීමෙන් දැනට රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් සොයා ගැනීමට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රාජපක්‍ෂ ආණ්ඩුව සමත්ව තිබේ.

 

'තම ජීවනෝපාය වෙනුවෙන් ලංකා මුහුදේ මසුන් මැරීමට තවත් කෙටි කාලයක් දෙන්න'යැයි තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ධීවර අමාත්‍යවරයා කියා සිටියේ ට්‍රෝලර් යාත්‍රා යොදා මසුන් මැරීම ලංකා මුහුදේ තහනම් බැවින් ඊට අවසර දිය නොහැකි බවයි.

'තමිල්නාඩුව සමග අපේ හිතවත්කම තිබෙන අතරේ ලංකාවේ මුහුදට ට්‍රෝලර් වලින් බලෙන් ඇවිත් මාළු අල්ලන එක වහාම නවත්වන්න ඕනෑ.''

 ''අපි සංස්කෘතික වශයෙන් තමිල්නාඩු ජනතාවට සමීපයි. අපේ දෙමළ ඥාතියෝ ලෙසයි සලකන්නේ. ඒ සබඳතාවන්ට හානි නොවන විදිහට වැඩ කරන්න ඕනෑ. ඒ කොහොම නමුත් අපේ මුහුදු සම්පත් විනාශ කිරීම නම් අපිට අනුමත කරන්න බැහැ,''යැයි ධීවර ඇමැති අවධාරණය කළේය.

දෙරට අතර ධීවර විරසකය දුරු කරලීම සඳහා ඉන්දීය අගමැතිටත් විදේශ ඇමැතිටත් ශ්‍රී ලංකාව විසින් යෝජනා ඉදිරිපත් කර ඇතත් කෝවිඩ් වසංගතය නිසා ඊට නිසි අවධානය යොමු කිරීමට නොහැකි වූ බව ඇමැති දේවානන්දා කියා තිබේ.

ගැටලුවට සාමකාමී විසදුමක් අපේක්ෂාවෙන් මෙම සාකච්ජාවේ තවත් වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව චෙන්නායි ලංකා මහ කොමසාරිස් කාර්යාලය වාර්තා කර ඇත.

දෙරටේ සාගරික ගැටුමින් තම ජීවනෝපාය මහත් පීඩාවට පත්ව සිටින ලංකාවේ උතුරේ ධීවරයන්  මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ බවක් දැනගන්නට නැත.

 

Leader Whats app

 


 
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්