ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට අද (14) අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.
චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයට අද අළුයම පැමිණි සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර තිබේ.
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මේ පිරිස නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුදිත සමරවික්‍රම කියා සිටියේ, මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි. ඊට අමතරව තමන්ට වෙඩි ශබ්ද කීපයක් ද ඇසුණු බව ඔහු පවසයි.
මේ සිද්ධි සම්බන්ධයෙන් වහාම පොලීසියට දැනුම් දුන් බවත් ඒ අනුව පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
'හිරු ටීවී 'පත්තරේ විස්තරේ සහ සලකුණ සංවාදාත්මක දේශපාලන වැඩසටහනෙහි ප්‍රධාන පූරක ලෙස ලෙස කටයුතු කරන චමුදිත සමරවික්‍රම එම වැඩසටහන් වලට ඉදිරිපත් වන දේශපාලඥයින් සහ අනෙකුත් බලධාරීන් දැඩි සහ සෘජුව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින අතර රූපවාහිනි දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.
ඔහු විසින් Truth With Chamuditha නමින් යු ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන යන අතර ඒ හරහා ඔහු පසුගිය කාලයේ මෙරට ජනප්‍රිය චරිත ගණනාවක් දැඩි ප්‍රශ්න කිරීමකට භාජනය කළේය.
ඔහු විසින් සෑම උදසනකම 'හිරු ටීවී ඔස්සේ ඉදිරිපත් කල 'පත්තරේ විස්තරේ' වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයින් නොසතුටින් සිටි බව පැවසේ. කෙසේ වුවද 'හිරු' නාලිකාව අද උදැසන ප්‍රකාශ කලේ ජනතාවගේ හා රටේ හෙට දවස යහපත් කිරීමේ චේතනාවෙන් තමන් විසින් ඉදිරිපත්කරන රුපවාහිනී වැඩසටහන් ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවයි.