හිරු නාලිකාවේ මාධ්‍යවේදී සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ද වන චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරය මාධ්‍ය සහ සමාජ සංවිධාන, දේශපාලාන නායකයින් වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන

සියලු දෙනාගේම දැඩි හෙලා දැකීමට ලක්වෙමින් තියෙනව.

ප්‍රහාරය හෙලා දකිමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන ප්‍රධානම අයිතියක් වන භාෂණයේ නිදහස උල්ලංඝනය වූ තැන ප්‍රජාතන්ත්‍රවාදය මරුමුවට පත්වෙනවා කියල.

විපක්ෂනායකවරයා පෙන්වාදෙන ආකාරයටම ප්‍රහාරකයින් කවුරුන් වුනත්, පහුගිය දශක ගනනාවක් තිස්සේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ලවුණ ප්‍රහාර ගැන අපේ අත්දැකීම විමසා බැලුවම ආණ්ඩුවට මේ ගැන ඇඟිල්ල දිගුවීම වලක්වන්න බැහැ

සමහර විට ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුමත් දැන් මේ ප්‍රහාරය හෙලා දකීවි. ඒ වගේම පොලිසිය කියන විදියටම පොලිස් කණ්ඩායම් තුනක් යොදවල පරීක්ෂණ පවත්වන නිසා පරීක්ෂණවලට ඇඟිලි ගහන්නේ නැහැ කියලත් ආණ්ඩුව කියාවී.



ඒත් ප්‍රහාරකයින් අත්අඩංගුවට අරගෙන, ප්‍රහාරකයින්ට පමණක් නෙමෙයි ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයින්ටත් දඬුවම් ලැබෙන තුරු ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ 'අපි දන්නේ නෑ' කියල අත පිහදාගන්න. මොකද මෑත ඉතිහාසයේ අපේ ලංකාවේ නම් අපි එහෙම දෙයක් දැකල නැති නිසා.



මේ අතර පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියන්නේ චමුදිත සමරවික්‍රමට එල්ලවෙලා තිබුන ජීවිත තර්ජන ගැන විමර්ශනය කරන්න කියල මීට ඉහතදී තමන් පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව.

ඒ ගැන තමන් කැඳවලා කටඋත්තරයක් ගත්තත් විමර්ශනයක් හෝ පැවැත්වුව ද කියලවත් තවමත් දන්නේ නෑ කියල තමයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු ජයවර්ධන "Sandeshaya by Saroj" නාලිකාව එක්ක අදහස් දක්වමින් කියා සිටියේ.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ චමුදිතගේ සමාජ මාධ්‍ය රූපවාහිනී වැඩසටහන් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ දූෂිත දේශපාලකයින් මෙන්ම ඊට සම්බන්ධ කළු ව්‍යාපාරිකයින්ද විශාල ලෙස සමාජය හමුවේ නිරාවරණය වෙමින් තිබූ තත්ත්වයක් තිබුන නිසා මේ ප්‍රහාරය ඔහුගේ මාධ්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස හා එම ක්‍රියාවලියට අදාළ බියගැන්වීමක් බව ඉතා පැහැදිලියි කියල.



විශේෂයෙන්ම අගනුවර ආශ්‍රිත ප්‍රදේශයක ආරක්ෂාවද සපයා තිබූ නිවාස සංකීර්ණයකට ආයුධ සන්නද්ධව ඇතුල් වී මෙවැනි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට හැකියාව ලැබිල තියෙන්නේ මේ පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බවට සැකයක් නැහැ කියලත් ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.



"සරෝජ් සමග සංදේශය" නාලිකාව සමග අදහස් දක්වමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආයෙත් වතාවක් අතුරු සන්නද්ධ හමුදා රටේ මතුවීමේ තර්ජනයක් ගැනත් අනතුරු ඇඟවීමක් කළා.  

මේ අතරේ නිවේදනයක් නිකුත් කරමින් සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියන්නේ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් අමානුෂික හා බිහිසුණු ප්‍රහාරයන් එල්ල කිරීම වගේම මාධ්‍යවේදීන් ඝාතනය ගැන කුප්‍රකට ඉතිහාසයක් තියෙන රටක මේක පැහැදිලිවම බිහිසුණු ප්‍රහාරයක් කියල.

ඒ නිසා මා කලින් කිවුව විදියටම ඒ කිසිදු ප්‍රහාරයක් හෝ ඝාතනයක් සම්බන්ධයෙන් එදා මෙදා තුර කිසිවෙකුත් දඬුවම් ලබල නැහැ කියලත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සිහිපත් කරනවා.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේත් මේ ප්‍රහාරය දැඩි විවේචනයට ලක්වෙමින් තියෙනවා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියන්නේ කළු ජනවාරිය සමරමින්, ගෙවුණු දශකවල ඝාතනයට ලක්වූ සහ ප්‍රහාරයන් ඇතුළු විවිධ ආකාරයෙන් අගතීන්ට ලක්ව වින්දිතයන් බවට පත් වූ මාධ්‍යවේදීන්හට යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා සතියක් ගතවන්නටත් පෙර මෙවැනි සන්නද්ධ මැර තර්ජනයක් එල්ලවීම ‘ජනමාධ්‍යයට එරෙහි අදෘශ්‍යමාන බලයක් සහිත අඳුරු සෙවනැලි’ තවදුරටත් නිදහසේ සැරිසරමින් සිටින බවට පැහැදිළි සාධකයක් කියල.

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයත් චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙලා දකල තිබුන.  




ඒ ගැන අදහස් දක්වමින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කේ සංජීව "Sandeshaya by Saroj" නාලිකාව එක්ක කියා සිටියේ විශේෂයෙන්ම ඒකාධිපති බලතල ක්‍රියාත්මක කරන්න යැයි ජනාධිපතිවරයාට සෑම තැනකින්ම උපදෙස් ප්‍රසිද්ධියේ ලැබෙන පසුබිමක මෙම නින්දිත ප්‍රහාරය පිළිබඳව ජනමාධ්‍ය ප්‍රජාව පමණක් නොවෙයි රටේ සාමානය පුරවසියනුත් සිය බරපතල අවධානය යොමුකළ යුතු බව.  




ප්‍රහාරය ගැන වාර්තාවක් පල කරමින් බීබීසී සිංහල ප්‍රශ්න කරලා තිබුනේ මේක මාධ්‍යවේදීන්ට කළ අනතුරු ඇඟවීමක්ද කියල.

ඇත්තටම බීබීසී ය මේ මොහොතේ මතු කරන මේ ප්‍රශ්නය ඉතාමත් වැදගත්. මොකද චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන මුළු රටේම අවධානය යොමු වෙලා තියෙන මොහොතේ අපට තවත් පුවතක් ගැන අහන්න ලැබුන.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වන්න කියල දිගින් දිගටම උද්ඝෝෂණයක් නිරතවෙලා ඉන්න ශෙහාන් මාලක ගමගේ සුදු වෑන් එකකින් ඇවිත් අත්අඩංගුවට ගැනීමත් නිසා.

පැහැදිලිවම මේක බොහොම බරපතල, භයානක ප්‍රවනතාවක්.  

චමුදිතට ප්‍රහාරය එල්ලවුණේ ආරක්ෂාවත් සපයා තිබුන නිවාස සංකීර්ණයකට ඇතුල් වෙලා.



දැන් යුක්තිය, සාධාරණය ඉල්ලා සටන් කරන ෂෙහාන් මාලක අත්අඩංගුවේ. ඒත් අත්ඩංගුවට ගන්න ඔහු කළ වරද මොකක්ද?



ඔහු විතරක් නෙමෙයි, කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව වගේම පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ හැම දෙනෙක්ම ඉල්ලා සිටින්නේ යුක්තිය, සාධාරණය. ඔවුන් ඉල්ලන්නේ නිසි පරීක්ෂණ තියල වැරදි කරුවන්ට දඬුවම් දෙන්න කියල. ඔවුන් කියන්නේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියල. කුමන්ත්‍රණ චෝදනාව ගැන හිටපු නීතිපති ගෙන් ප්‍රශ්න කරන්න කියල.

ඒත් පොලිසිය කරන්නේ පරීක්ෂණ පැවැත්වීම වෙනුවට යුක්තිය ඉල්ලන අය අත්අඩංගුවට ගන්න එක.

ලංකාවේ පොලිසියේ මේ හැසිරීම ගැන පසුගියදා මා සමග අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමා කීවේ සත්‍යය කතා කරන කොට රිදෙන පිරිසක් මේ ක්‍රියාවල් පිටුපස ඉන්නවා කියල.

එහෙම රිදුනම බලය පාවිච්චි කරන්න පුළුවන් බලය අතේ තියන අයට බවත් එතුමා පෙන්නලා දුන්න.  

ඉතින් ඇත්තටම අපි මේ කොහෙද යමින් ඉන්නේ?

ඒකාධිපති ගමනකටද?

වෛද්‍ය නලින්ද ජයතිස්ස කියනවා වගේ අතුරු හමුදා ආයෙත් මතුවෙලාද?

නිල්, කොල, රතු, දම් පාට කන්නාඩි දාගන්නේ නැතුව අවංකව ඔබේ හදවතට තට්ටු කරලා අහල බලන්න.

මේක අතිශය භයානක තත්වයක්.

භාෂණයේ නිදහස වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔබේ හඬ ප්‍රජාතන්ත්‍රවාදීව අවදිකරන්න.

- මම සරෝජ් පතිරණ (Sandeshaya by Saroj නාලිකාව වෙනුවෙන්)

 

Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්