1200 x 80 DMirror

යුද්ධය පැවති සමයේ දෙමළ ජනයා විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇතැයි රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු පිළිගෙන තිබේ.



ජගත් මානව හිමිකම් සමුළුව මේ මස අගදී ජිනීවාහිදී මුළු දීමට නියමිතව තිබියදී කොළඹින් පලකෙරෙන දෙමළ මාධ්‍ය පුවත් පතකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් අධිකරණ ඇමැතිවරයා කී පරිදි එම ජන සංඛ්‍යාව මිය ගොසිනි.

''කොටි නායක ප්‍රභාරකරන්ගේ මරණය එයාගේ පවුලේ අයට දුකක්, කණගාටුවක්. ඒක අපි පිලිගන්නවා. යුද්ධ කාලේ දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් අතුරුදහන් වුනත් අපිට එයාලගේ පණ ආපසු දෙන්න බැහැ. ඒකයි අපි ඊට විසදුම් සොයන්න වෑයම් කරන්නේ,'' අමාත්‍ය අලි සබ්රි 'වීරකේසරී' පුවත්පතට කියා තිබුණි.

sabri s

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේද තමන් ආරක්ෂක ලේකම්ව සිටි, සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

''අතුරුදහන් කළවුවන්ගේ හරි ගණනක් කියන්න බැහැ. එක එක්කෙනා එක එක ගණන් කියන්නේ. අපි පිලිගන්නවා යුද්ධය පැවති කාලයේ ලොකු ගණනක් අතුරුදහන් කියලා,''යැයි අධිකරණ ඇමැති සබ්රි සඳහන් කරයි.

ඇමතිවරයාට අනුව යුද්ධයේ දී අතුරුදහන් වූ රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 4000 කි. එය සනාථ කිරීමට ලියකියවිලි ඇති බවද ඔහු පවසයි. ඊට වැඩි සංඛ්‍යාවක් LTTE සාමාජිකයන් අතුරුදහන් වූ බව බැහැර නොකරන ඔහු සාමාන්‍ය ජනතාවට එරෙහිව රජයේ හමුදාව අපරාධ කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන ඇති තොරතුරු ප්‍රතික්ෂේප කරයි.  

 

''හමුදාවේ 4000 ක් අතුරුදහන් නම් ඒ ගානම හෝ ඊට වැඩියෙන් කොටි පාර්ශවය අතුරුදහන් වෙන්න පුළුවන්. හමුදාව නිරායුධ සිටී අයව මට්ටු කරා කියලා කියන්න බැහැ. කොටින් ද සන්නද්ධ වෙලා සම බලයක ඉඳලා තමයි යුද්ධ කළේ. මේ යුද්ධයේදී දෙමළ අය හුඟක් අතුරුදහන් වෙන්න ඉඩ තියෙනවා.''

 

දෙමළ ඥාතීන් 2009 සිට අවධාරණය කරන කරුණක් වන්නේ දෙමළ විමුක්ති කොටි සංවිධානයට කිසියම්ම හෝ සම්බන්ධයක් තිබුණු අයකු වේ නම් යුද්ධාවසානයෙදී රජයේ කැඳවීම පරිදි යුද හමුදාවට බාර දෙනු ලැබූ බොහොමයක් අතුරුදහන් කර ඇති බවයි. අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ රජයේ කාර්යාලයේ (OMP) පිළිගැනීම අනුව එම පිරිස විසිදහසක් පමණ වෙයි.

රජයේ හමුදා මගින් බලහත්කාරයෙන් රැගෙන ගිය හා තමන් විසින් රජයේ හමුදා වෙත බාර දුන් සිය ආදරණිය සමීපතමයන්ට සිදුවුයේ කුමක්ද යන්න හෙළිදරව් කළ යුතු බවට ඉල්ලා සිටින අතුරුදහන් කළවුන්ගේ ඥාතියෝ ආණ්ඩුව යෝජනා කර සිටින වන්දි මුදල් හා මරණ සහතික ලබාගෙන විරෝධතා අත්හැරීම තරයේ ප්‍රතික්ෂේප කරති.

“අපි අහන්නේ මැරිච්චි අය ගැන නෙවෙයි. අපි අහන්නේ ඒගොල්ලන්ගේ කීම විශ්වාස කරලා යුද්ධයේ අන්තිම දවස්වලදී බාර දීපු අයට මොකද උනේ කියන එකයි,'' යනුවෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා ලීලාදේවි ආනන්දනඩරාජා අධිකරණ ඇමැතිට ප්‍රතිචාර දක්වමින් BBC යට පවසා තිබුණි.

 

හමුදාව භාරයේ සිටි පිරිස් මරුමුවට පත්ව සිටී නම්, ඒ කෙසේදැයි හෙළි කොට ඔවුන්ගේ මරණයට වගකිව යුත්තන්ට ජාත්‍යන්තර නීතිය අනුව දඬුවම් කළ යුතු බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් පවසයි.

 

අතුරුදහන් කළවුන්ගේ පවුල් වෙනුවෙන් සියලු දේ ආණ්ඩුව ලබා දීමට සුදානම් වුවද ඔවුන් එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව කියන අමාත්‍ය සබ්රි අවධාරණය කර ඇත්තේ මේ මගින් දේශපාලනය නොකොට හානියට පත් අයගේ උවමනාවන් ලබා දිය යුතු බවයි.

''හමුදාව -කොටි හැර සාමාන්‍ය පොදු ජනයා ද අතුරුදහන් වෙලා ඇති. ඒක අපි පිලිගන්නවා. දීර්ඝ කාලයක් කතා කර කර ඉඳලා බැහැ. එහෙම කරලා කවදාද මේකට විසදුම් සොයා ගන්නේ?''

කෙසේ වෙතත්, ‘යුක්තියට ප්‍රවේශයක්’ යනුවෙන් නම්කළ ජංගම සේවාවක් සමග උතුරට ගිය අධිකරණ ඇමතිවරයා ඔහු මුණගැසී ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ආ බලහත්කාර අතුරුදහන් කිරීමෙන් පීඩාවට පත් ඥාතීන්ට මුහුණ නොදී පෑල දොරින් පලා ගොස් තිබුණි.



බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ට යුක්තිය ඉල්ලා ඔවුන්ගේ ඥාතින් ගෙන යන අඛණ්ඩ අරගලයට එළඹෙන පෙබරවාරි 20 වැනිදාට වසර පහක් සැපිරීම නිමිත්තෙන් දැවැන්ත පෙළපාලියක් පැවැත්වීමට නියමිත බව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ කිලිනොච්චි දිසා නායිකා යෝගරාසා කනගරන්ජනී සති අන්තයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

''අවුරුදු පහක් පුරා අපේ දරුවන් වෙනුවෙන් ලංකා ආණ්ඩුවෙන් යුක්තිය සාධාරණත්වය ඉල්ලුවා. එය ඉටු නොකළ නිසා මින් පසු අපි ජාත්‍යන්තරයෙන් සාධාරණත්වයක් ඉල්ලා සිටිනවා.''

සතියකට ඉහතදී වව්නියාවේ රාජ්‍ය උත්සවයක් පැවැත්වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තම දරුවන්ට අත්වූ ඉරණම විමසීමට ගිය යුද පීඩිත මවුවරුන්ට එම අවස්ථාව ලැබුනේ නැත.

පෙබරවාරි 28 සිට අප්‍රේල් 1 දා ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 49 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. යුද අපරාධ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එක්රැස් කරගෙන තිබෙන සාක්ෂි සම්බන්ධයෙන්ද තොරතුරු එහිදී අනාවරණය කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.


සබැඳි පුවත් :


කඳුළු සලන දෙමළ මව්වරුන්ට අධිකරණ ඇමැතිගෙන් සිනා සාගරයක්


Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්