1200 x 80 DMirror

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අභාවප්‍රාප්ත වෙයි.


හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් මත ඔහු ඊයේ (20) රාත්‍රී 8.30ට පමණ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලට ඇතුලත් කරනවිටත් ඔහු මියගොස් සිටිබව වාර්තාවේ.

මියයන විට ඔහු 54 වියෙහි පසුවූ ඒ මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

‘යුක්තිය’ පුවත්පත හරහා සිය මාධ්‍ය ජීවිතය ආරම්භකළ කමල් ලියනාරච්චි, ලක්බිම පුවත්පතේ ප්‍රධානියකු ලෙස සේවය කළේය.

කමල් ලියනාරච්චි, මාධ්‍යවේදිනී කමණී හෙට්ටිආරච්චි ගේ සැමියා වේ.


JDS 2022.03 1
යුක්තිය හිටපු කර්තෘ සුනන්ද දේශප්‍රියගේ සටහන :
''මෙවැනි හිඩැස් පිරවිය නොහැක.''



කමල් ලියනාරච්චිගේ අනපේක්ෂිත වියෝව සම්බන්ධයෙන් 'යුක්තිය' පුවත්පතේ ආරම්භක කර්තෘ, 'ශ්‍රීලංකා බ්‍රිෆ් (srilankabrief.org) සංස්කාරක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය ෆේස්බුක් පිටුවේ පළකර සටහනක මෙසේ සඳහන් වේ.


''මා සිටියේ මඟය. බුද්ධික ජපානයේ සිට කතා කළේය. ඔහුගේ දුක්බර හඩින්ම කෙහෝ හෝ වරදක් වි ඇති බව එකවරම දැනුනී. කමල් නැති වුණා. අප ගොළුවිමු.

ඩෙංඟු සෑදි කමල්ට බොහෝ අමාරු වී රොහල් ගතවූ බවත් පසුව නිවෙසට පැමිණ විවේක ගනිමින් සිටි බවත් කීවේ ද බුද්ධිකය.  

පසුව යලී කවර හෝ අසනීප තත්වයක් නිසා රෝහල් ගත කිරීමට යන අතරතුර කමල් නැති වූ බව කී බුද්ධික  දුක් බර හඩින්ම පස්සේ කතා කරමු යැයි කිවේ,  අපේ වචන කඳුළු බවට පත්වීම වළක්වා ගත යුතු වූ නිසා ය..

 අප ගමන් ගනිමින් සිිටි ඇල්පයින් කඳුකර මාවතෙහි වූ සීතල කපා ගෙන දෑස් උණුසුමට තෙත් විය. වාහනය පදවමින් සිටි මිතුරියට යම් නරකක් වී ඇකි බව හැඟුණි. නවත්වලා කෝපි එකක් බීලා යමුද කියා ඇය ඇසුවේ ඒ නිසාය.

මට අවසන් වරට කමල් හමුවූයේ තෙවසරකට පෙර ගෙදර ගිය අවස්ථාවකය. බුද්ධිකද ලංකාවට පැමිණි සිටි බැවින් අප දෙදෙනා අසනීපව සිටි වූලා (චූලවංශ සිරිලාල්)  බැහැ දැන දොඩමළු වන්නට ගියෙමු. චූලා අපේ යුක්තිය පත්තරයේ ප්‍රවෘත්ති අංශයේ බල කණුවක් විය.

කමල් පත්තර රස්සාව පටන් ගත්තේ මා දන්යුනා තරමට යුක්තිය පත්තරයෙනි. බුද්ධික ආවේ ඇත්ත පත්තරයේ සිටය. කමල්ට පුවත් සොයා යෑමට අපූරු ඉවක් තිබුණි.



මැදපු කමීසය සහ මැදපු කලිසම කමල්ගේ ළකුණක් විය. ඒ අප පත්තර මේස උඩ නිදා ගනිමින් පත්තර රස්සාව කළ කාලයයි. රැය නතරවීමට තිබුණ හොත් කමල් ඊළඟ දවසේ ඇදීමට මැදපු කමීසයක් රැගෙන ආවේය.

දෙදෙනාම කලුතර වැසියන් වූ බැවින් බුද්දික සහ කමල් ගජයන් වූහ.

චූලා හමු වී ආ අප දෙදෙනා බොරුල්ලේ බර් එකකට වී සතුටු සාමීචියක යෙදුනෙමු. එදා කමල් ද සිටියේය. වැඩි පුර කතා නැති  හෘදයංගම පුදගලයකු වූ කමල් සිනහ වූයේ ඇස් දෙකිනි.  ලක්බිම පුවත් පකට ගිය නමුත් කමල් හැමදාම යුක්තියේ මාවතෙහි සිටියේය.  

ඔහු පුවත් පත් පැමිණිළි කොමිසටමට  යොමු කළ ඉල්ලුම් පත්‍රයට අසා දැන ගත හැකි අයකු ලෙස මගේ නම් දාන්නද ඇසුවේ ඒ යුක්තියේ මාවතෙහි කොටසක් ලෙසය. මම කමල් ගැන මගේ පැහැදීම නිල වශයෙන්ම කීවෙමි.

මා ගෙදර ගිය හැම වාරයකම වාගේ අප මොනවා හරි වැඩක් මැද හමු වී ආගිය තොරතුරුද  අනං මනං ද කතා කළෙමු. දරු දෙනොගේ තොරතුරු ද විවාහ ජීවිතයේ හැඩද අපි බෙදා ගත්තෙමු.

කමල් කිසිවකුගේ හිත නරක් කලේ නැත. පුවත්පත් පැමණිළි කොමිසමක ප්‍රධානියකු වීමට තිබිය යුතු ප්‍රධාන සුදුසුකම එය විය. ඔහු ඇත්තටම නම් ටිකක් හොඳ වැඩි විය. ඒ නිසා මාධ්‍ය දුරාචාර සම්බන්ධයෙන් යුක්තිය වෙනුවට සංහිදියාව පැත්තට වඩා බරව සිටියේය. පුවත්පත් පැමිණිලි කොමිසම අසාර්ථක ව්‍යායාමයකි.

එවැනි අසාර්ථකත්යක් මැද සැමගේ හොඳ හිත දිනා ගැනීම කමල් ලියනආරච්චිගේ සළකුණ විය. එවැනි මිනිසකු කලින්ම නික්ම යාම අපමණ හැඩැසක් ඇති කරයි. එවැනි හිඩැස් පිරවිය නොහැක.

කමල් සතුටින් යහපත්ව ජීවත් විය. ඔහු කිසිවකුට අංචි ඇද්දේ නැත.  ඔහුගේ ආත්මය සුවෙන් නිදනු ඇත.  සුභ ගමන් කමල්!



උවිඳු කුරුකුලසුරියගේ සටහන:
''හද කම්පාකරන සුලුයි''



කමල්  ලියනාරච්චිගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ සමකාලින ගජ මිතුරකු වූ , 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.


''මගේ තාත්තා මිය ගියේ ඊයේ වැනි දිනකය. ඒ එයාට අවුරුදු 52ක වයසක් ඇති විටය. හැම අවුරුද්දෙම තාත්තා වෙනුවෙන් අම්මා දෙන දාන කටයුතුවලට සම්මාදම් උනත් මේ වසරේ මම එය නොකලෙමි. මම ඒ අයට කීවේ මම ඉන්න පලාතේ හෝම්ලස් අයට මම ආහාර වර්ග අරන් දෙන බවය. ඒකත් මට කරන්නට නොහැකිවිය. ඒ දවස් තුනක සිට  කොවිඩ් ආසාදිත තත්ත්වයක පසුවන නිසාය.

ඒත් පැය ගානකට පෙර 51-2ක් වයසැති මගේ කල්‍යාණ මිත්‍ර කමලා Kamal Liyanaarachchi මිය ගිය බව දැන ගන්නට ලැබීමෙන් මම මහත් කම්පාවට පත්වුනෙමි. ඒත් මගේ පියා මෙන්ම හාර්ට් ඇටෑක් සීන් එකකිනි. කමලාවත් ඉස්පිරිතාලයට ගෙනයන විටම මිය ගොස් ය. මගේ පියාටත් වී ඇත්තේ එයමය. මම අප දෙදෙනාගේම කළණ මිතුරු බුද්ධික වීරසිංහ සමඟත් මා ඇමතූ යාලුවන් කීපදෙනෙක් සමඟත් මේ හදිසි වියෝව ගැන කතා කලෙමි.

අඩු වයසින් මිය යෑම හද කම්පාකරන සුලුය. අදටත් මම තාත්ත නැති වීමෙන් ඇතිවූ රික්තය දරා ගත නොහැකිව අඬන්නෙකි. ඒත් එදා මම නොහඬන පුද්ගලයෙක් වීමී.

මට කමලා ගැන රසකතා ගොඩක් කියන්නට පුලුවන. ඒත් ඒවා අපි අපිම දැන් පැය කීපයකට කියා ගතිමු. ඒවා විහිළු කතාය. දැන් වැඩකට නැත.

අපි 91 හෝ 92ක වසරවල සිට යාලුවෝ වෙමු. මම ඔය හොරකම් කරපු ජනමාධ්‍ය ලොක්කන් ගැන වැඩ කරපු හැම අවස්ථාවේම හොරකම් කල පාර්ශවය මා වෙත මැදිහත්කරුවෙකු ලෙස එව්වේ කමලාවය. මම ඌට සියල්ල පැහැදිලි කර දී සුද්ධ සිංහලෙන් අමතමි.

මම ඒ කොටස කීවේ කමලා කිසි කෙනෙක් සමඟ ගැටුමකට නොයන පුද්ගලයෙකු නිසාවෙනි. ඒ අය කමලාව මා වෙත එවන්නේත් ඌ මාත් සමඟත් ඉතාම හොඳ බව දන්නා නිසාවෙනි. එයත් "හොඳ" මිනිහෙක් වීම යන්නට සුදුසුකමකි. ඒත් මම එසේ නොවෙමි. මට ඒ හැමෝම සමඟ හොඳින් ඉඳීමේ න්‍යාය කවදාවත් දිරවන්නේ නැත.

ඇත්ත පත්තරේ සිට මාධ්‍යවේදියෙකු වූ කමලා අවසානයේදී මා අධ්‍යක්‍ෂ ධූරයක් දැරූ පුවත්පත් පැමිණිලි කොමිසමේ සිංහල පුවත් පැමිණිලි පිලිබඳ නිලධාරියා විය. එය ලැදියාවන්ගේ ගැටුමක තත්ත්වයකි.

ඒ නිසා කිසි දිනක ඔහුගේ පඩි නඩි හෝ වෙනත් ප්‍රශ්ණ වලදී අපේ මිත්‍රකම අනිත් අධ්‍යක්‍ෂවරුන්ට කියා ඒ කතාව අවසන්වන තෙක් එලියට යෑම මගේ සිරිතක් විය. කමලා මෙය හොඳින් අවබෝධකරගත් පුද්ගලයෙකු විය.

මා ඔවුන්ගේ කටයුතු අධික්‍ෂණය කල නිසා ඔහු ෆයිලුත් සමඟ මා හමුවීමට පැමිණිම පුරුද්දක් විය. අපි දෙදෙනාම කතා කලේ මාධ්‍යයෙන් අගතියට පත්වන්නන්ට කිසිම අගතියක් නොවීම ඉඩ නොතබා ඒ කටයුත්ත කිරීම ගැනය. ඔහු ඒ කටයුත්ත හොඳින් කලේ යැයි මම සිතමි. ඔහු ගැන කිසිම පැමිණිල්ලක් එකල මට ලැබුණේ නැත. ටික කලකින් මම ලංකාව අතහැර ආවෙමි.  

මම ලංකාව ඇතහැර එනවිට උනත්, මම ගොඩගාසගෙන හැම විටම පාවිච්චි කල ආචාරධර්ම පොත් තුනක් කමලාට දෙන්නට කියා ආවෙමි. ඌ ඒක හැමදාම අගය කරමින් කතා කලේය. මාධ්‍ය කේස් එකක් පිලිබඳ ගැටලුවක් ඔහුට මතුවූ විට කුමන මාර්ගයකින් හෝ මා ඇමතීම උගේ ගතියකි. අන්තිමට කතා කලේ ගිය අවුරුද්දේ නොවැම්බරයේ විනාඩි තිහකි.

මගේ තාත්තා අකාලයේ මිය යෑමෙන් ඇති වූ රිකතය තුල මම අදත් ජීවත් වෙමි. මම කමලාගේ දරු දෙදෙනා හා ආදරණීය බිරිඳ ගැන ගැන සිතමි.
සුබ ගමන් මචෝ!

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්