උතුරු නැගෙනහිර හින්දු ආගමික පුරාවස්තු හමුවන ස්ථානවල විහාරස්ථාන ඉදිකරමින් බෞද්ධාගම බලහත්කාරයෙන් පැටවීමට වෑයම් දැරීම නොනවත්වාම සිදුකෙරෙමින් පවතින බවට චෝදනා එල්ල වී තිබේ.


''කුමුලමුනෙයි සහ කුරුන්තුර්මලේ අපේ ඓතිහාසික හින්දු කෝවිල් තිබුණු තැන්. ඒ තැන් වල නටබුන්වූ පුරා වස්තු තිබුණා වගේම පුරාවිද්‍යා කැනීම් වලදීත් හමුවුණා. දැන් ඒවා විනාශ කරලා බෞද්ධ විහාර හදනවා,'' යැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙරාසා රවිකරන් පවසයි.

 මුලතිව් දිස්ත්‍රික්කයට අයත් කුමුලමුනෙයි සහ කුරුන්තූර්මලේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත හින්දු හා බෞද්ධ නටබුන් සහිත ස්ථාන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනා ගෙන තිබේ.

'' පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන චාල්ස් නිර්මලනාදන්, සිවඥානම් ශ්‍රීධරන් එක්ක මම කුරුන්තූර්මලේ ගියා ගිය අවුරුද්දේ ජනවාරි 27 වැනිදා. එදා යන කොට හින්දු කෝවිලේ පුරා වස්තු දකින්න තිබ්බා. පස්සේ යනකොට ඒවා විනාශ කරලා ජනවාරි 29 වැනිදා මුල්ලෙතිව් පොලිසියට පැමිණිලි කරත් අද වෙනකම් විමර්ශනයක් නැහැ. ඒ දවස්වල කුරුන්තූර්මලේ ඒ අවටවත් බෞද්ධ විහාරයක් තිබ්බේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උසාවියෙන් අවසරයක් අරන් තිබ්බා කැනීම් කරන්න,''යි  රවීකරන් පැහැදිලි කරයි.

ඉකුත් නිදහස් දිනයේ දී කුරුන්තූර්මලේ තරණය කළ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී වන එම්.ඒ සුමන්තිරන් සහ  ශානක්කියන් රාසමානික්කන් ඇතුළු පිරිසට දැකගන්නට ලැබුනේ හින්දු කෝවිල් පරිශ්‍රය ආසන්නේ අලුතින් ඉදි කරමින් පවතින බෞද්ධ විහාරයකි.

එම පිරිස සමග කුරුන්තූර්මලේ ගමනට එක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී රවිකරන් පවසනුයේ බුද්ධාගම හින්දුන් මත බලහත්කාරයෙන් පැටවීමේ උත්සාහයක් මෙහිදී ක්‍රියාත්මක වන බවයි.



''අපි විශ්මයට පත් වුණා. හින්දු ආගමික සංකේතයක් වුනු සිව ලිංගය තිබුණු තැන බෞද්ධ විහාරයක් හදලා. සියයට හැත්තැ පහක්ම වැඩත් අවසන් කරලා.''



කුරුන්තූර්මලේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පනත යටතේ අළුත් ඉදිකිරීම් කිරීමට බලතල නොමැති බවයි.

'' ඒත් කුරුන්තූර්මලේ හින්දු බැතිමතුන්ට පැමිණීම වලක්වා ලහි ලහියේ ධාතු ගර්භයක් හදනවා. අපි මේ ගැන අධිකරණයට කරුණු දක්වනවා.''

''කුරුන්තූර්මලේ අවට කුඹුරු ඉඩම් අක්කර 436 ක දෙමළ ගොවීන් පරම්පරා ගානක් තිස්සේ වගා කරනවා. බෞද්ධ විහාරේ සම්පත් කියලා ඒ ඉඩම් පවරා ගන්න හදනවා. මේක ඉතාමත් අසාධාරණ වැඩක්. මීට ඉඩ දිය යුතු නැහැ. නීතියෙන් බැරි නම් ජනතා උද්ඝෝෂණයකින් හරි අපි මේක නවත්වනවා,''යි ඔහු පැවසීය.

 වැලිඔය සහ අසිරිමලේ විහාර වලින් පැමිණි බෞද්ධ භික්ෂුන් හතළිහකට වැඩි පිරිසක් පෙරටු කරගත් වනජීවී ඇමැති සී,බී.රත්නායක හා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති චන්න ජයසුමන කඩිමුඩියේ කුරුන්තුර්මලේ වැඳ පුදා ගන්නට පැමිණියේ නිදහස් දිනය කොළඹ ගෙවා දැමීමෙන් පසුවය.

 ඇමතිවරුන්ගේ චාරිකාව ගැන 'ලංකාදීප' පුවත් පත වාර්තා කර තිබුනේ එකම පස් කන්දක් පවතින 'නාගචෝල කුරුන්දු විහාර' චෛත්‍යය, ජගත් සුමතිපාල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය ඇතිව ඉස්මතු කරගැනීමට උතුරු පළාතේ සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් දැඩි කැපවීමෙන් වැඩ කරන බවයි.

 වැඩම කළ භික්ෂුන් පිරිස සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වද්දී මුලතිව් වට්ටුවාහල් ගෝඨාභය නාවික කඳවුරේ රාත්‍රිය ලැගුම් ගත් ඇමැතිවරු දෙදෙනා පසු දින කොළඹ බලා පිටත්ව ගිය බව වන්නි මාධ්‍යවේදියෝ වාර්තා කර තිබිණි.


''අපේ ජිවිත උදුරාගෙන. අපේ භාෂා අයිතීන් නැති කරලා. අපේ ඉඩම් අත්පත් කරගෙන. දැන් අපේ පුරාවස්තු විනාශ කරනවා.''යැයි හිටපු පළාත් සභා මන්ත්‍රී රවිකරන් කියයි.

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්