රට මුහුණදී සිටින බරපතල විදේශ විනිමය අර්බුදයෙන් ගැලවීම සඳහා ප්‍රායෝගික විසඳුමක් වශයෙන් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින්

ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති, විදේශිකයන්ට ලංකාවේ නේවාසික බලපත්‍ර ලබාදීමේ යෝජනාව මිට ඉහතදී රජය විසින් අනුමතකොට ගැසට් කර තිබු වැඩසටහනක් බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

මෙරට බැංකු ගිණුමක් ආරම්භ කර ඇමරිකානු ඩොලර් 300,000 ක මුදලක් එහි තැන්පත් කර පවත්වාගෙන යන විදේශිකයකුට වසර 5 ක මෙරට නිවාසික විසා ලබාදීමට යහපාලන ආණ්ඩුව විසින් 2018 වසරේදී කැබිනට් අනුමැතිය ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාල යෝජනා හා නිර්දේශ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතද යොමුකර තිබු බව එම නිලධාරියා සඳහන් කළේය.

එසේම, වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණි පසු මෙම නේවාසික විසා වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා ගැසට් කර ඇතැයි ද මුදල් අමාත්‍යංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


ධම්මිකගේ ‘ස්වර්ණමය පාරාදීසය’ :


කෙසේවුවද ජනාධිපතිවරයා පසුගිය 21 දා මෙරට ප්‍රධාන ව්‍යාපාරිකයින් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබු අතර රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.

විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය, විදේශ රැකියා ප්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප්‍රමාණවත්ව සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබේ.

එහිදී, වත්මන් අර්බුදයෙන් ගොඩඒමට යෝජනා ඉල්ලා සිටි අවස්ථාවේදී ධම්මික පෙරේරා විසින් ‘ස්වර්ණමය පාරාදීසය’ වැඩසටහන නමින් ඉදිරිපත්කල යෝජනාව ජනාධිපතිවරයා විසින් අනුමත කර තිබේ.

ස්වර්ණමය පාරාදීසය වැඩසටහන (Golden Paradise Programme) නමින් ධම්මික පෙරේරා ඉදිරිපත් කළ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා සතියක් ඇතුළත අවශ්‍ය විධිවිධාන සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් සිය කාර්ය මණ්ඩලයට හා මුදල් ඇමතිවරයාට උපදෙස් දී ඇතැයි ද වාර්තාවේ.

විදේශිකයන්ට ලංකාවේ නේවාසික බලපත්‍ර ලබාදීමට යෝජිත මෙම වැඩසටහන ඔස්සේ නේවාසිකභාවය ලබාගැනීමට අපේක්ෂා කරන විදේශිකයකු මුලින්ම මෙරට බැංකු ගිණුමක් ආරම්භ කර ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් එහි තැන්පත් කළ යුතු වේ.

එයින් වසරකට පසු අදාළ පුද්ගලයාට එම මුදලින් ඇමරිකානු ඩොලර් 50,000ක් දක්වා මුදලක් ආපසු ගතහැකි අතර දෙවැනි වසරේ සිට ඉදිරියට ඔහු හෝ ඇය මෙරට රැඳී සිටින සම්පූර්ණ කාලය තුළ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් එම ගිණුමෙහි පවත්වාගෙන යා යුතු බව ධම්මික පෙරේරා යෝජනා කර ඇත.

 

මෙම වැඩසටහන හරහා විදේශිකයන් 50,000ක් මෙරටට ගෙන්වාගත හැකි නම් එක් අයෙකු ඇමරිකානු ඩොලර් 100,000 බැගින් කරන තැන්පතු හරහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකි බවට පුරොකථනය කර ඇත.

 

තවද මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,000 ට වැඩි, වයස අවුරුදු 60 ඉක්මවූ විදේශිකයන් සඳහා වසර 10ක වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද ධම්මික පෙරේරා සිය වැඩසටහන මගින් යෝජනා කර තිබේ.

මෙරට දිගු කාලීනව නේවාසිකව සිටින විදේශිකයන් විශාල පිරිසක් මේ වනවිටත් රට තුළ සිටී. ඒ ආකාරයෙන් මෙරට දේශගුණය ආදී විවිධ හේතූන් මත මෙරටට ආකර්ෂණය වන විදේශිකයින්ට නේවාසික බලපත් ලබාගැනීම සඳහා පහසුකම් සලසන අතරේම ලංකාවෙහි විදේශ විනිමය අර්බුදයට ද විසඳුම් ලබාගන්නට ආණ්ඩුව මේ ආකාරයෙන් සූදානම් වන බව පෙනේ.

සිය පාලන කාලය තුළ අවසානයක් දැකිය නොහැකි අර්බුදයක් ජනිත කරමින් මතුව ඇති මෙම විදේශ විනිමය හිගය පියවා ගන්නට ජනාධිපතිවරයා පිදුරු ගහේ පවා එල්ලෙන්නට සූදානම් බවක් පෙනීයනබව 'ලංකා විව්ස්' සටහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ව්‍යාපාරික හමුවට සහභාගිව සිටි ප්‍රකට ව්‍යාපාරිකයකු අප වෙත පැවසුයේ, වත්මන් අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයින් රටින් පලා යන මොහොතක ධම්මික පෙරේරා ඉදිරිපත්කල යෝජනාව ප්‍රයෝගික වෙයි සැකයක් මතුවන බවයි.


(මුලාශ්‍රය - lankaviews.com)

 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්