වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් ලබා දෙන ලෙස මීට වසර දෙකකට පෙර නිකුත් කළ  නිර්දේශයන්ට එරෙහිව වතු පාලකයන් ගොනු කළ නඩුව විභාගයට කැඳවා තිබේ.


 කීප වතාවක් කල් දැමුණු මෙම නඩුව හෙට [24] අභියාචනාධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

 ඉහල යන ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු වෘත්තීය සමිති දිගු කලක් ගෙන ගිය සටනේ ප්‍රතිපලයක් ලෙසින් ඒ පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පඩි පාලක සභාවට යොමු කෙරිණි.

 රුපියල් දහස ලබා දිය යුතු බවට පඩි පාලක සභාව නිර්දේශ නිකුත් කිරීමත් සමග තේ වෙළඳ පොලේ ආදායම් බිඳ වැටීමත්, නිෂ්පාදන වියදම් ඉහල යාම හේතු ලෙස දක්වමින් එම මුදල ලබා දිය නොහැකි බවට පවසමින් වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ගයන්ට පිවිසිණි.

 ඒ සමගම වතු කම්කරු වෘත්තීය සමිති හා සමාගම් අතර පැවති සාමුහික ගිවිසුම බල රහිතවිය.

 කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුභ සාධන ගැන එකඟතා අඩංගු මෙම සාමුහික සෑම වසර දෙකකට වරක් අත්සන් කෙරේ.

 වතු කම්කරු වෘත්තීය සමිති ලෙස මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා වතු සමාගම් වල එකඟතාව හිමි වූ  ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය දායකවේ.

 අවසන් වරට අත්සන් තැබුණු සාමුහික ගිවිසුමට එකඟතාව පළ නොකළ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටියේය.



වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේශ්  පතිරණ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳා ගැනීමට නම් සාමුහික ගිවිසුමකට  යළි එළඹෙන ලෙස දෙපාර්ශවයටම බල කර සිටින බවයි.


''අපි සාමූහික ගිවිසුමක් හරහා විසඳුමක් සොයන්න උත්සාහ කළා. නමුත් වතු  පාලනාධිකාරිය ඒකට කැමති වුණේ නැහැ. ඔවුන් එකඟ නොවීම නිසා කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ට එය පඩි පාලක සභාව වෙත යොමු කිරීමට සිදු වුණා.''යි වැවිලි කර්මාන්ත ඇමැති සඳහන් කළේය.

 අර්බුද රැසක් මැද වුවද තේ නිෂ්පාදනය ඉහල ගොස් ඇති බවද ඇමතිවරයා පැවසුවත්, වතු සමාගම් කියා සිටින්නේ කෝවිඩ් වසංගතය හා රසායනික පොහොර තහනම හේතුවෙන් තේ අස්වැන්න පහත වැටී ඇති බවයි.

 කෝවිඩ් වසංගතය හේතුවෙන් රට අගුලු දමා තිබිය දීත්, වැඩට වාර්තා කළ වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් දහසක මුදල ලබා දීමට සමාගම් වලට බලපෑම් කිරීම ආණ්ඩුවේ වගකීමක් බව දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

''වතු කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් දහසක දක්වා ඉහල දමන බවට ආණ්ඩුව පොරොන්දු වී එළඹෙන මාර්තු පළමු වෙනිදාට වසර දෙකක් ගත වෙනවා. අද වෙන කොට ජිවන වියදම ඉහල ගිහින් තියෙන ලෙසට අඩුම තරමේ රුපියල් 2000 ක් වත් ලබා දිය යුතුයි.''යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වැවිලි කර්මාන්ත ඇමැතිට පෙන්වා දී තිබේ.

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්