ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමෙන් දස දහස් ගණනකගේ ඡන්ද ලියාපදිංචිය අතහැරී ඇති බවට එක්සත් ජාතික පක්ෂය පවසයි.


එජාප ලේකම් පාලිත රංගේබණ්ඩාර සමග ඊයේ (23) මැතිවරණ කොමිසමේ නිලධාරීන් මුණගැසුන එජාප තරුණ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් විමසීමක් කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් පත්කරනු ලැබූ තරුණ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන දිනුක් කොළඹගේ සහ ෂෙහාර හේරත් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමග පැවති සාකච්ජාවෙන්  පසු එජාප මහ ලේකම්වරයා මාධ්‍ය හමුවේ මෙසේ සඳහන් කළේය.

''1948 මහාමාන්‍ය ඩී.එස් .සේනානායක මැතිතුමා අපේ රටේ ජනතාවට සර්ව ජන ජන්ද බලය ලබල දුන්න. 1960 දී C.P.J  සෙනෙවිරත්න මැතිතුමා මේ ජන්ද නාම ලේඛන ගත කරනකොට ග්‍රාම සේවක මහත්වරුන් විසින් නිවසින් නිවසට ගිහිල්ලා ඡන්ද නාමලේඛන ලේඛන ගත කිරීමටත්. එය බොහෝ දුරට සිදු වෙනවද බැලීමටත්, කුමන හෝ හේතුවක් මත අතහරෙනවද බැලිමටත්, පක්ෂ නියෝජිතයින්ට ඒ පිළිබඳ පරික්ෂා කරලා බලන්නත්, අවකාශය හදල දුන්නා.



මේ අයිතියට අද ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා. දැන් මේ ආණ්ඩුව ග්‍රාම නිලධාරීන් වැඩිපුර මුදලක් ඉල්ලුවා කියලා ඒ මුදල ගෙවීමට නොහැකියාව නිසා ඡන්ද නාම ලේඛනය online ක්‍රමයට ලියාපදිංචි වීමේ ක්‍රමය සලසලා තියනවා. මේ තත්වය නිසා පසුගිය වසරවල් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ වසරේ ලොකු වෙනසක් තියනවා. ඒ වෙනසේ තියනවා අඩුවක්.



දවසින් දවස ජන්ද දායකයින් ප්‍රමාණය වැඩි වෙනවා. වයස අවුරුදු 18 සම්පුර්ණ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් මෙතන ලියාපදිංචි වන ඡන්ද දායකයින් ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා සර්ව ජන ඡන්ද බලයටත්, මිනිස්සුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකමටත්, හානියක් සිදු වෙනවා. ඒ නිසා ඡන්ද බලය ආරක්ෂා කිරීමත්, මුලික මිනිස් අයිතිවාසිකම් අරක්ෂා කිරීමත්, සිදුකළ යුතුයි.

දේශපාලන පක්ෂ වල නියෝජිතයෝ වශයෙන් අපි මැතිවරණ කොමසාරිස් තුමා හමුවෙලා සාකච්ජා කරන්නේ මේ ප්‍රශ්නේ විසඳාගන්නේ කොහොමද කියලා. මිට අමතරව මැතිවරණ ක්‍රමය සහ ඡන්ද පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් තුමා සියලු පක්ෂ කැඳවලා තියනවා. එක වෙනම කාරණයක්.''









ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමෙන් දස දහස් ගණනකගේ ඡන්ද ලියාපදිංචිය අතහැරී ඇති බවට දකුනෙන් චෝදනා එල්ල වද්දී, දිනපතාම
පාහේ ආණ්ඩු විරෝධී අරගල දියත් කෙරෙන යාපනයේ ජනතාවට ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ අගය කියා දීමේ වැඩ සටහනක් ක්‍රියාවට නංවා තිබේ.

''ඔබේ ඡන්දය රටේ අනාගතයයි. ඔබගේ ඡන්ද බලය රැක ගැනීමට නොවරදවාම ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වන්න'' යනුවෙන් සදහන් මැතිවරණ කොමිෂන් සභාවේ බැනරය පෙරටුකරගත් ජනතාව පා පැදි වලින් ගමන් කරමින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයට එක්ව ඇත.

පෙබරවාරි 22 වැනි අගහරුවාදා උදෑසන හතයි තිහට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් හා කොඩිකාමම් බස් නැවතුම්පොළ ඉදිරිපිටින් පා පැදි වල නැග ගමන් ඇරඹු කණ්ඩායම් දෙකක් චාවකච්චේරිය දුම්රිය පොළ දක්වා ගමන් කොට එතැන සිට තෙන්මාරච්චි සංස්කෘතික ශාලාව දක්වා ගමන් කර තිබේ.

එහිදී ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම පිලිබදව දැනුවත් කිරීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වු බව යාපනයේ වාර්තාකරුවෝ පවසති.





''තරුණයින් දස දහස් ගණනකගේ ඡන්ද හිමිකම අහිමි කරලා''


2021 ඡන්ද හිමි නාමලේඛනය සැකසීමේ දී සිදු වු අඩුපාඩු සහ වරද හේතුවෙන් අලුත් ඡන්දදායකයින් විශාල පිරිසකට ඉදිරි ඡන්ද විමසීමක දී ඡන්ද බලය අහිමි කර ඇතැයි පළමු වරට අනාවරණය කලේ 'කැෆේ' සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පවසන්නේ, වසර 55 කට වැඩි කලක් අඛණ්ඩව හා සාර්ථකව ගෙන් ගෙට ගොස් සිදු කළ ඡන්දහිමියන් ලියාපදිංචි කිරිම වෙනුවට නාමික ඔන්ලයින් ක්‍රමයට ඡන්ද නාම ලේඛන සැකසීම මෙයට හේතුව බවයි.

rajith ks


''ග්‍රාම නිලධාරි හරහා ඡන්ද ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි''



නිවසින් නිවසට ගොස් ඡන්ද නාම ලේඛන සැකසීම වෙනුවෙන් ග්‍රාම නිලධාරිවරුන්ට ගෙවන දීමනා සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිසම හා ග්‍රාම නිලධාරී සමිති අතර ගැටුමක් මතුවී ඇත. එම හේතුවෙන් 2022 වසරේ ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේ දී ද, මාර්ග ගත (ඔන් ලයින්) ක්‍රමයට ඡන්ද නාම ලේඛන සැකසීම සිදු වේ.


2021 ඡන්ද නාම ලේඛනයේ ඡන්දදායකයින් ගේ වැඩිවීම ඇදහිය නොහැකි පහත අගයක් දරයි. ඒ අනුව, 2021 ඡන්ද නාම ලේඛනය ලංකා ඉතිහාසයේ අසාර්ථකම සහ වැඩිම දෝෂ සහිත ලැයිස්තුවක් බවට පත්ව ඇත.



# බදුල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් වසරට නව ඡන්දදායකයින් 8000 ක් පමණ ලියාපදිංචි කෙරේ.  නමුත් 2021 දී ඡන්ද හිමි නාමලේඛනයේ වැඩිවීම ඡන්ද 4,968 ක් පමණී.

# පුත්තලම වසරකට ඡන්ද 14,500 ක් පමණ වැඩිවේ. 2021 දී වැඩි වී ඇත්තේ ඡන්ද 8,369 කි.

# පෙර වසර වල ඡන්ද 6000 ක් පමණ වැඩි වූ හම්බන්තොට මෙවර වැඩිවීම ඡන්ද 3,598 කි.

# පෙර වසරවල ඡන්ද 10,000 ක් පමණ වැඩි වූ ගාල්ලේ මෙවර වැඩිවීම ඡන්ද 3601 කි.

# පෙර වසරවල ඡන්ද 5,500 බැගින් වැඩිවූ මාතලේ මෙවර වැඩිවීම ඡන්ද 3,153 කි.

# පෙර වසරවල ඡන්ද 5,500  බැගින් වැඩි වූ මොණරාගල මෙවර වැඩිවීම ඡන්ද 3,564 කි.


ලංකා ඉතිහාසයේ අසාර්ථකම ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට හේතු වූ මාර්ගගත ක්‍රමය මගින් පමණක් කිසිදු ලෙසකින් සාර්ථක ඡන්ද හිමි නාම ලේඛනයක් සකස් කර ගත නොහැකි බව පැහැදිලිය.



‘‘සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛයක්‘‘ සැකසීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම ඉතිහාසය පුරාම ප්‍රමුඛත්වය දී තිබුණි. ලෝකයේ ඉහළම ප්‍රමිතියකින් යුතු ඡන්ද හිමි නාමලේඛන පවත්වා ගෙන යාමට ඒ නිසා අපට හැකියාව ලැබී තිබුණි.  2022 ඡන්ද හිමි නාමලේඛන සැකසීම නැවත වරක් විධිමත් කළ යුතුව ඇත.

ඡන්ද හිමි නාම ලේඛන සැකසීම, ග්‍රාම නිලධාරිවරුන්ගේ රාජකාරි ලැයිස්තුවේ කොටසකි. ඒ සඳහා පහසුකම් හා දීමනා සැපයීම මැතිවරණ කොමිසමේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීමකි.


 ග්‍රාම නිලධාරි දීමනා ගෙවීමට නොහැකි බව පවසමින් ඡන්ද ලියාපදිංචිය අඩාල කිරීම තුලින් තරුණයින්ගේ ඡන්ද අයිතිය උදුරා ගනු ලබන්නේය. ග්‍රාම නිලධාරිවරුන් හා මැතිවරණ කොමිසම අතර මතුව ඇති ආරවුල නිරාකරණය කර ‘සුදුසුකම් සහිත සෑම ඡන්ද හිමියෙකුම ලියාපදිංචි කිරීමට‘‘ රජය වහා පියවර ගත යුතුව ඇත.



2021 ඡන්ද ලේඛනයේ නම ඇති දැයි පහත දිගුවෙන් පරීක්ෂා කළ බැලිය හැකිය.    

https://eservices.elections.gov.lk/pages/es_ct_MakeQuery.aspx

ඡන්ද පොතේ නම නැත්තම්, ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබෙන්නේ නැත.




සබැඳි පුවත් :
 
 


Leader Whats app

 

  

 

 



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්