රටේ විදේශ විනිමය හිඟවීම කළමනාකරණය කර ගැනීමට නොහැකි ආණ්ඩුව අදවන විට රට බරපතල බලශක්ති අර්බුදයක් කරා ගෙන ගොස් ඇතැයි පවසන විපක්ෂ නායකවරයා, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද

ආණ්ඩුවට ප්‍රශ්න 6ක් ඉදිරිපත් කළේය.  

 පසුගිය මාස කිහිපයේ ම, මුළුතැන්ගෙයි ගෑස් සිලින්ඩරය පිපිරෙද්දීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට පැය ගණන් පෝලිම්වල සිටීමට ජනතාවට වූ බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී සිහිපත් කළේය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

''වර්තමානයේ සිදුව ඇත්තේ, තමන්ගේ වාහනයට ඉන්ධන පුරවා ගැනීමට පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් ගැසීමටයි. තව ද ඇතැම් පිරවුම්හල් මේ වනවිට තමා විසින් ම පනවා ගත් සලාක ක්‍රමයන්ට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර ඇත.

ලංකාවේ විදුලි ඉල්ලුමේ විශාල වර්ධනයක් පසුගිය කාලයේ සිදු නොවූ අතර, රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වන මෙගාවොට් 2700 නිපදවීමට අවශ්‍ය ඉන්ධන සැපයීමට නොහැකි වීම විදුලි අර්බුදයට මූලික හේතුවයි.



උසස් පෙළ දරුවන්ට සිය විභාගයට මුහුණ දීමට සිදුව ඇත්තේ විදුලි බිඳ වැටීම් මැදය. නැතහොත් අඳුරේ ය. අඛණ්ඩව විදුලිය නොමැති වීම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා නැගී එන සංචාරක කර්මාන්තය වෙත බරපතල බලපෑමක් ඇති කරමින් පවතී.



මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, බලශක්ති හා විදුලිබල අමාත්‍යවරුන් විසින් සිදු කරනු ලබන තරඟකාරී මාධ්‍ය ප්‍රකාශ හැරුණු කොට කිසිදු සාධනීය විසඳුමක් සොයා ගත නොහැකි ආණ්ඩුව මේ වන විටත් රටේ බොහෝ ප්‍රදේශ දිනකට පැය 5ක් පමණ අඳුරෙහි තබයි.

අර්බුදය තවදුරටත් ව්‍යාකූල කරමින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට මුදල් සැපයීමේ දී ණය සීමාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහ බැංකු අධිපති වාණිජ බැංකු වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. ලෝක බොර තෙල් බැරලයක මිල අද වනවිට ඇමරිකානු ඩොලර් 97කට පමණ ද පැමිණ ඇති අතර, එය තවදුරටත් ඉහළයාමේ අවධානමක් ද පෙනෙන්නට ඇත.

මෙම ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අසමත් අමාත්‍යවරුන් සිදුකරන්නේ, තෙල් නැවක් වරායට පැමිණෙන විට එය පිළිගැනීමට උත්සව පැවැත්වීමයි.

තව ද ඉන්ධන මිලදී ගැනීම සඳහා විදේශ විනිමය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමේ නොහැකියාව මහජනතාව වෙත ම පටවමින් අධික ලෙස විදුලි පරිභෝජනය හා වාහන ධාවනය සිදු කරන බව ප්‍රකාශ කරමින් මහජනතාවට චෝදනා නඟයි.  

රටේ බලශක්ති සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් හෝ අවම කළමනාකරණ දැනුමක්වත් යෙදවූවේ නම් සිදු කළ යුතුව තිබුනේ, රටේ බලශක්ති අවශ්‍යතාවය සම්බන්ධයෙන් නිසි පුරෝකථනයක් මත පිහිටවූ සැලසුම් සහගත ඉන්ධන මිලදී ගැනීමකට යොමු වීමයි. ''

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.


මෙවර උත්තර දෙන්න




1) විදේශ විනිමය නොමැති නිසා ඉන්ධන නොමැතිව රට බරපතල අර්බුදයකට පත්ව ඇති බව රජය පිළිගන්නේ ද?

2) වාහන සඳහා භාවිතා කිරීමට අද දිනට අප සතුවන පෙට්‍රල් සහ ඩීසල් සංචිතය මෙට්‍රික් ටොන් කොපමණ ද? එය දින කීයක් සඳහා ප්‍රමාණවත්ද ? ඉදිරි කාලයේ දී වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට හැකියැයි අමාත්‍යවරයාට සහතික විය හැකි ද?

3) තාප බලාගාර පවත්වාගෙන යාමට ඩීසල් හා දැවිතෙල් කොපමණ ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය ද? එම ප්‍රමාණයන් තව කොපමණ කාලයක් සැපයීමට ඛණිජ තෙල් සංස්ථාවට හැකි ද?

4) ඉදිරි මාස 3 සඳහාවත් මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කොතරම් මුදලක් අවශ්‍ය ද යන්න පුරෝකථනය කර තිබේ ද? ඒ කොපමණ ද? ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබා ගන්නේ කෙසේ ද?

5) විදුලිය අඛණ්ඩව සැපයීමේ සැලැස්මක් නොමැතිනම්, අඩුම තරමේ ඉදිරි මාසයක කාලය තුළ දී විදුලිය විසන්ධි කිරීමේ නිශ්චිත සැලැස්මක්වත් රජය සතුවේ ද? එසේනම්, ඒ කුමක්ද?

6) කොවිඩ් වසංගතයත් සමග අගාදයට වැටුණු  සංචාරක කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැතිවීම  නිසා තවදුරටත් කඩා වැටීමකට ලක්විය හැකි බව රජය නොදන්නේ ද? එම කර්මාන්ත පවත්වා ගෙන යාම සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජයේ ඇති වැඩපිළිවෙල කුමක් ද? තවත් කොපමණ කාලයක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවනු ඇති ද?


Leader Whats app

 

   12

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්