දෙමළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිබදව ඔවුන්ගේ නිල නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම මග හැර සිටීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා “සිංහල

‌බෞද්ධ ජනතාවගේ පමණක් ජනාධිපතිවරයා” ලෙස චෝදනා ලැබ සිටී.

උතුරු, නැගෙනහිර හා කොළඹ දෙමළ ජනතාවගේ පාර්ලිමේන්තු නියෝජිතයන් 15 දෙනකුට ආසන්න පිරිසක් ඔහු හමුවීමට 24 වැනි බ්‍රහස්පතින්දා ගත් උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුව ඔවුහු ජනාධිපති කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

මන්ත්‍රීවරුන් පිරිස “ජනාධිපතිවරයා කාර්යාලයේ නොමැති අවස්ථාවක” දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පැමිණීම “කුමන්ත්‍රණයක්” ලෙසින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් හෙලා දැක තිබුණි.

 

"පැහැදිලිවම ජනාධිපතිවරයා අද රටේ, ශ්‍රී ලංකාවේ සිංහල, බෞද්ධ ජනතාවගේ විතරක් ජනාධිපති මම කියන එක පැහැදිලිවම නැවත වරක් කියන්න උත්සාහ කරලා තියනවා," යි ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ඉන් අනතුරුව මාධ්‍ය වේදීන් හා කියා සිටියේය.

 

ජනාධිපතිවරයා මුණ ගැසී දෙමළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන්  සන්දේශයක් භාරදී සාකච්ඡාවක් ඉල්ලීමට උත්සාහ ගෙන තිබුනත් ජනාධිපති කාර්යාලයෙන් ඔවුනට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා කාර්යාලයේ නොමැති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පහවී ගතවූ තුන් අවුරුද්දකට ආසන්න කාලය තුල දෙමළ ජාතික සන්ධානය ඔහු මුණගැසීමට කිහිපවාරයක් ගත් උත්සාහය සාර්ථක වූයේ නැති බව මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙන ලදී.  

"වනජීවී සංරක්ෂණයේ මුවාවෙන් දෙමළ ජනයාගේ ඉඩම් පැහැරගැනීම නවතනු, පුරාවිද්‍යාවේ මුවාවෙන් දෙමළ ජනයාගේ ඉඩම් සහ සංස්කෘතිය පැහැර ගැනීම නවත්වනු, වන සංරක්ෂණයේ මුවාවෙන් දෙමළ ජනයාගේ ඉඩම් පැහැරගැනීම නවතනු" මැයෙන් සිංහල, දෙමළ සහ ඉංශ්‍රීසි යන භාෂා තුනෙන්ම ලියවුන සටන් පාඨ පුවරු දෙමළ ජනතා නියෝජිතයන් විසින් ප්‍රදර්ශනය කරන ලදී.

ජනාධිපතිවරයා වෙනුවට ලේකම්වරයෙකු හෝ අගමැතිවරයා මුණ ගැසීමට හැකි බවට දෙමළ ජනතා නියෝජිතයන්ට  දැනුම් දී ඇතත් ෂානක්කියන් රාජපුත්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හා කියා සිටියේ " අපිට අගමැතිතුමා හම්බවෙන්න ඕනේ නං අපිට පාර්ලිමේන්තුවේ හම්බවෙන්න පුළුවන්. රටේ ජනාධිපතිවරයා හම්බවෙන්න ඕනේ නිසා තමයි අපි ආවේ," යනුවෙනි.

 

දෙමළ ජනතාවකගේ නියෝජිතයන් මගහැරීම නිසා ලක්ෂ විස්සක ජනතාවකගේ ප්‍රශ්නවලට ඇහුම් කන්  දෙන්නට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළේය.

 

"ජනාධිපතිතුමා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම් දීමකින් ද තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම්සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බව පැහැදිලි ය,” යි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජනාධිපතිවරයා පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වෙන අතර ෂානක්කියන් රාජපුත්තිරන් මන්ත්‍රීවරයා සදහන් කළේ ජනාධිපතිවරයා එදින  කොළඹ  ඉන්න බව දන්නා නිසා  දෙමළ ජනතා නියෝජිතයන්  පැමිණි බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 24 වැනිදා පෙරවරුවේ  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ  නිරීක්ෂණයක යෙදී සිටි බව දැක්වෙන දර්ශන ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

 

ෂානක්කියන් රාජපුත්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේ තමන් හමුවීමට අවස්ථාව දෙන බවට ජනාධිපතිවරයා විසින් වසර දෙකකට වැඩි කලක් ලබා දුන් පොරොන්දු මේ තාක් ඉටු කිරීමට අසමත්ව ඇති බවයි.

 

නැගෙනහිර පළාතේ දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් කොල්ලකෑම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාට ලිඛිතවම දැනුම් දී තිබුනි.

උතුරු, නැගෙනහිර පාරම්පරික දෙමළ වාසභූමි බලහත්කාරයෙන් අල්ලා ගන්නා පිණිස කටයුතු කරන බවට මේතාක් කල් හෙළිවී තිබු  ආරක්ෂක හමුදා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදී රාජයේ ආයතනවලට අමතරව  විමල් වීරවංස අමාත්‍යවරයා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයත් පසුගියදා එක්වු බවට වන්නියේ ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ.

 0803 710 11214

 
 
 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්