(මෙම සටහන මාර්තු 02දා එළිදැක්වීමට නියමිත ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල යෝජනාවලිය සම්බන්ධයෙන් බැසිල්වාදියකු වන කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත ගේ ප්‍රතිචාරයකි. මෙතෙක් එවැනි යෝජනාවලියක් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැතත්, ඔහු පවසන්නේ එම යෝජනාවලියේ මුලික කෙටුම්පත තමා වෙත ලැබී ඇතිබවත් මෙම සටහන ඊට ප්‍රතිචාරයක් බවත්ය. )



ආණ්ඩුව සමඟ සන්ධානගත වී සිටින සුළු පක්ෂ 11 ක් ( මෙතන පක්ෂ ලෙස සලකන්න පුළුවන් ඒවා තියෙන්නෙ දෙකක් විතර වන අතර අනෙක් සියල්ලම පුද්ගල නියෝජනයන්ය) රට හරි මගට ගන්න ජාතික ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න සූදානම්ය.

බැලූ බැල්මට එය ඉතා හොඳ වැඩකි. මොකද හවුල්කාර පක්ෂ තමන් දකින, හිතන විදිහට හරියැයි හිතන යෝජනාවලියක් රජවට ඉදිරිපත් කරයි.




ඒත් ඊට පෙර මේ ලියවිල්ල ගැන තමන් නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟවත් සාකච්ඡා කලානම් එහි අරමුණෙහි සත්‍ය උවමනාව පැහැදිලිය. එවැන්නක් සිදුවී නොමැත. අනෙක “රට හරි මගට “ කියන කොට දැන් ආණ්ඩුව රට ගෙනියන්නෙ වැරදි පාරක බව ප්‍රකාශ වෙනවා.



මේ කණ්ඩායමෙන්  විමල්, උදය සහ වාසු කියන තුන් දෙනාම කැබිනට් මණ්ඩල සාමාජිකයන්. ඒ අනුව ඔවුනුත් සාමූහික වගකීම යටතේ ඒ වරදට වග කියන්න බැඳී සිටිනවා. නැතිනු එයින් ඉවත්විය යුතු වෙනවා.

තව තුන්දෙනෙක් ජාතික ලයිස්තුවෙන් ආපු අය. එතකොට එකොළහෙන් හයයි.

ආණ්ඩුව යන්නෙ වැරදි පාරෙනම් මොන එහෙකටද ආණ්ඩුවෙ ඉඳන් වරප්‍රසාද භුක්ති විඳින්නෙ කියලා ජනතාව අහයි කියන ලැජ්ජාවවත් මේ අයට තියෙනවද ?.  


සැබෑ අරමුණ ?




ඒකට හේතුව ඔවුන්ගේ සැබෑ අරමුණ රට හරිමගට ගන්න එක නෙවෙයි. ආණ්ඩුවට එල්ල වෙමින් පවතින විවේචන වලින් තමන් ගැලවිලා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත නාම යෝජනා නොදෙනු තත්ත්වයක් තුළ) පාර්ලිමේන්තු එන එක.  

ඒ සඳහා අළුත් පෙරමුණක් ආණ්ඩුව ඇතුලෙන්ම හදලා සජිත්වත්, චම්පිකවත්, අනුරවත්, එකතු කරගෙන විමල්ව ජනාධිපති කරන එක.  

අනුර නම් දැනටම දිනලා නිසා ඔහු මේ පෙරමුණට එන එකක් නැහැ. අනික ඔහු විමල්ව දිනවන්න නම් කොහොමටත් එන්නෙ නැහැ.

මෛත්‍රී බලන්නෙ ඒ පෙරමුණෙන් තමන් පොදු අපේක්ෂකයා වෙන්න. චම්පිකටවත් ඉඩ නොදෙන සජිත්, විමල්ව ජනාධිපති කරන්න එයිද?

ඒක මේ හැමෝගෙම හිත් දන්නවා.

අඩුම ගානෙ තනි කණ්ඩායමක් විදිහට පාර්ලිමේන්තුවට ඇවිත් මේ වරප්‍රසාද ගසාකෑම් තවදුරටත් කරගෙන යන්න නම් ජනතාවට කියන්න හදන්නෙ අනේ අපි ඕවට නෑ. අපිට නම් ඡන්දෙදි දඩුවම් කරන්න එපා“ කියලා.


ඒ කොහොම වුණත් මේ ලියවිල්ල කණ්ඩායමේ පොදු එකඟතාවකුත් නෙවෙයි. තනිකරම වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙ තනි ලියවිල්ලක්. ඔහුගෙ ලිපි ලේඛන කියවලා තියෙන ඕනෙ කෙනෙකුට ඒක සක්සුද වගේ පැහැදිලියි.



එතුමා බොහොම හොඳ සිංහල ජාතිකවාදියෙක්. ස්වදේශිකත්වය ගැන ලොකු කැක්කුමකුත් තියෙනවා. ඒ නිසා එදා ඉදන් එතුමා තමන්ගෙ දැක්ම ලේඛනගත කරනවා. පොදු ජයග්‍රහණයක් ලැබුණාම ඒක තනිකරම තමන්ගෙ පෙනී සිටීම නිසා ලැබුණා කියලා තනියම සතුටු වෙනවා.

හැබැයි එතුමාම දන්නවා තමන් වටේ ඉන්න කීප දෙනා හැර කවුරුවත් ඕවා කියවන්නෙ නැහැ කියලා. ඒ නිසා එතුමා ලොකු උනන්දුවක් දරනවා ඒ ලියකියවිලි ටිකක් සද්දෙ දාලා එළියට දාන්න වේදිකාවක් ගහගන්න. එහෙම නැතුව අඩුම ගානේ මෙම ලියවිල්ල වසන්ත බණ්ඩාර හැර අන් කිසිවෙක් උඩින් පල්ලෙන් හැර ගැඹුරින් කියවාවත් නැත.

ඊට හේතුව මම දන්නා උදය ගම්මන්පිළ හොඳ සිංහල භාෂා දැනුම ඇත්තෙක් වන අතර ඕනෑම ලියවිල්ලක් හොදින් සහ ප්‍රවේශමෙන් කියවා සියලු අක්ෂර වැරදි, ව්‍යාකරණ වැරදි, පද යෙදුම් සහ වාක්‍ය යෙදුම් නිවැරදි කරන්නෙකි.

මෙහි එවැනි වැරදි රාශියක් තිබේ. අඩුම වශයෙන් 10 වැනි කොටස එහෙම පිටින්ම දෙවැනි කොටසට එක් කළ හැකිව තිබුණි.



අනෙක් අතින් ලංකාවේ නවලිබරල්වාදයේ නූතන පියා වන රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩු කළ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා මෛත්‍රී ඒ හා කිසිත් යා නොදෙන ප්‍රතිපත්ති ගොන්නකට මෙම ලියවිල්ල කියෙව්වා නම් කිසිදා එකඟ නොවනු ඇත.


අනෙක වසන්ත බණ්ඩාර තරම් දස වැදෑරුම් ප්‍රකාශ වලට ප්‍රිය කරන මම දන්නා අන් කිසිවෙක් නොමැත. ඇත්තටම කරුණු 9 ක් වෙද්දී මෙම ප්‍රකාශන දස වැදෑරුම් වී ඇත්තේ ඒ නිසාය.

කොහොම වුණත් ලියවිල්ලෙ අන්තර්ගතය සලකා බලන විට ද එහි නිස්සාරබව පිළිබඳ කරුණු රාශියක් දැක්විය හැකිය.



නිස්සාරබව පිළිබඳ කරුණු රාශියක් 

 


(01)  මෙහි සමස්ත අන්තර්ගතයම තනිකර අතීතයට පමණන් අයිති එකකි. මෙහි අන්තර්ගතය ප්‍රතිසංස්කරණවාදී සමාජවාදී ප්‍රතිපත්තියයි. නමුත් අවාසනාවට අපි  ඒ ප්‍රතිපත්තිවලට වටිනාකමක් තිබුණු කාලය බොහෝ පහුකර පැමිණ තිබේ.  

ගෝලීය වශයෙන් එම ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදීම චීනය රුසියාව ඇතුළු සමාජවාදී කඳවුරම අත්හැර  දමා තිබේ. 1970 දක්වා ලංකාවෙ එම ප්‍රතිපත්තිවලට තිබුණු තැන 1977 දි මහජනතාව විසින්ම අතුගාල දමන ලදි.

ඔය එකමුතුවෙ සිටින ඩියු, මහාචාර්ය විතාරණ වාසු  වැනි අය හොදින්ම ඒ බැව් දනී.

වර්තමාන ඡන්දදායක පදනමෙන් බහුතරය වෙන තරුණ පරම්පරාව මේවා ගැන අසාවත් නැත. එම නිසා මේ ප්‍රතිපත්තිවලට මූලික අන්තර්ගතයට අද දවසෙ ප්‍රායෝගික වලංගුභාවයක් නොමැත.


(02)   මූලධාර්මිකව මෙහි ඇත්තේ සිද්ධාන්ත දෙකක් පමණයි. එකක් රාජ්‍ය සුභ සාධනය තව තවත් පුළුල් කළ යුතු බව සහ මධ්‍යම රජය විසින් ආර්ථිකය මුළුමනින්ම හැසිර විය යුතු බවයි.

අප ජිවත්වන ලෝක නව ලිබරල්වාදී පද්ධතිය තුළ පවතින එකම මූලධර්මය ආණ්ඩුව ආර්ථික මෙහෙයුමෙන් හා මැදිහත්වීමෙන් ඉවත් විය යුතුය යන්නයි.

අප මුහුණ පා සිටින මේ අර්බුදය ඊට එරෙහිව උඩුගං බලා පීනන්නට යාමේ ප්‍රතිවිපාකයයි. තවමත් ජාත්‍යන්තර අරමුදල වෙත රජය නොයා සිටින්නේද ඒ නිසාය. මේ පක්ෂ සහ නායකයන් කළ යුත්තේ තමන් පිළිගන්නා රටට කියන ප්‍රතිපත්තිය එය නම් ආණ්ඩුවට සවිය දෙන එකයි.


(03) වර්තමානයේ රජය මුහුණ පා සිටින අර්බුදය රජයේ ආදයම් සීඝ්‍රයෙන් පහළයාම සහ ඩොලර් අර්බුදට නමුත් සමස්තයක් ලෙස ඒ සඳහා මෙහි ඉදිරිපත් කරන යෝජනා අප්‍රායෝගිකවන අතර ආදයම් උත්පාදනය මෙන් සියගුණයක් පමණ ඇත්තේ රජයේ වියදම් ඉහළ නංවන සුභසාධන යෝජනාය.

ඉන් උත්සාහ කරන්නෙ පොදුජන යෝජනා රැසක් තමන් යෝජනා කළ බවත් රජය ඒවා නොසලකා හැරිය බවත් කියා ඉදිරි මැතිවරණවලදී මහජන අනුකම්පාව ලබන්නටය.


(04) සමහර කරුණු අතිශයින් එකිනෙකට පටහැනියි.

විශේෂයෙන්ම බදු සම්බන්ධ කාරණා මේ ඝණයෙ අයත්. එක පැත්තකින් ඝෟජු බදු 30% ක් කරන්න කියනවා. ඒවා ගෙවන්න වෙන්නෙත් පොදුජනතාවට. අනෙක් පැත්තෙන් කියනවා ආහාර ද්‍රව්‍ය සඳහා අයකරන බදු (වක්‍ර බදු) සහනාධාර වලට පමණක් වෙන්කරන්න කියලා.

එහෙම නම් තියෙන්නෙ එම බදු අය නොකරම ඉන්න. ඇත්තටම ඕනෙම ආණ්ඩුවක ප්‍රධාන ආදායමක් වෙන්නෙ මේ වක්‍ර බදු.



(05)  මෙහි එන සමහර යෝජනා ඝෟජුවම අයිති වෙන්නෙ විමල් වීරවංශ ඇමතිවරයා ගේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයයේ විෂය පරිපථයටය. මෙහි මුළු හතරවෙනි කොටසම, පළවෙනි කොටසෙ කරුණු 3/9 ක් සහ නමවෙනි කොටසෙ කරුණු දෙකක් ආදී වශයෙන් උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

ඊට අමතරව පළවෙනි කොටසෙහි නමවෙනි කොටසෙ කරුණු පහම අයිති උදය ගම්මන්පිලගේ අමාත්‍යංශයටය.

ඒවා කරන්න තමයි ඔවුනට ඇමතිකම් දී ඔවුන් නඩත්තු කරන්න විශාල වියදමක් දරන්නේ එම කාර්යයන් හරියට ඉටු කිරීමටය. තමන්ට අයිති කොටස හරියට නොකර ආණ්ඩුව හරිමගට ගන්න යන එක හරියට කකුළුවගේ කතාව වගේය.


(06) ජනාධිපතිතුමාගේ කාබණික පොහොර ප්‍රතිපත්තිය හොඳයි කියන්නට කඳවුරු බැඳ නොගත් මේ කණ්ඩායම මෙහි යෝජනා කරන්නේ අවුරුදු තුනක් රසායනාක පොහොර නිකම් දෙන ගමන් වසවිස නැති ආහාර නිපදවන්නටය. රසායනින යෙදවුම් නවත්වන්නටය. එකිනෙකට නොගැළපෙන මෙවැනි ප්‍රකාශන මෙහි බහුලය.


(07)  අද දවසේ අපේ තරුණ පරපුර පමණක් නොව වැඩිහිටි පරම්පරාවද ගෝලීය ආහාර සංස්කෘතියක් තුළ ජීවත්වන විට මෙහි යෝජනා කරන පවතින ආහාර පුරුදු ආහාර සහ ආහාර සංස්කෘතිය වෙනස් කළ යුතුය යන මතයට ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද?

වර්තමානයේ පවතින ලෙඩ රෝගවලට පවතින ආහාර සංස්කෘතිය හේතුවක් බව සත්‍ය නමුත් මව පියා දෙදෙනාම රැකියාවටයාම, කාර්යබහුලත්වය වැනි කරුණු රැසක් එම වෙනස්කම් වලට හේතු වෙලා තියෙනවා.


(08) විදුලිබල පරිභෝජනය පාලනයට LED විදුලි බුබුලු ව්‍යාප්ත කිරීම වැනි යෝජනා, තිරිගු පිටි සම්බන්ධ බදු යෝජනාව සහ වගා පාළුව සදහා වන 80% ක වන්දි ගෙවීමේ රක්ෂණ යෝජනාව ආදිය සිඟිති සහ බොළඳ යෝජනාය.


(09) මෙහි ඇති සමහර යෝජනා දැනටමත් ක්‍රියාත්මක වෙන සහ සෞභාග්‍යයේ දැක්මේද සදහන් ඒවාය. ඉන් අදහස් වන්නේ මෙම ලියවිල්ල රට හරිමගට ගන්නට ඇති සත් උවමනාවට වඩා තමන් මාස කීපයක් තිස්සේ ගෙනයන දේශපාලන නාටකයට අළුත් කොටසක් එක්කිරීම සඳහා වසන්ත බණ්ඩාරගේ හමස් පෙට්ටියෙන් හොයාගත් පරණ ලියවිල්ලක් බවය.


(කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
SLIC Chairman




 
 
 
 
 
 
 
 
Mulu ratama 20221

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image