ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් තරුණයෙකුට පහර දීම යටපත් කිරීමේ වෑයමක් පවතින බවට චෝදනා එල්ල වී තිබේ.
වන්නි දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපති, ඊ.පී.ඩි.පී පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන් වවුනියාව වෛරපුලියන්කුලම් ක්‍රීඩා පිටියේ දී තරුණයෙකුට පහරදීම නිසා ඉකුත් සති අන්තයේදී ගැටුමක් ඇති වූ බව වවුනියාවේ මාධ්‍යවේදියෝ පවසති.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට ක්‍රීඩා සමාජ පිටියේදී මුලින්ම ගැටුමක් සිදුව ඇත්තේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගේ කණ්ඩායම හා තවත් තරුණයන් පිරිසක් අතරය.
පසුව මන්ත්‍රී තිලීපන් තම ආධාරකරුවන් පිරිසක් රැගෙන විත් සිය පුත්‍රයා සමග ගැටුම් ඇති කරගත් තරුණයෙකුට පහර දීමේදී සෙසු තරුණ පිරිස ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.
එම ප්‍රහාරයට මුහුණ දී ගත නොහැකිවූ මන්ත්‍රීවරයාගේ පිරිස වවුනියාව ,මන්නාරම් පාරේ පිහිටි දිස්ත්‍රික් සංවර්ධන කමිටු කාර්යාලය වෙත පසුබැස ගොස් ඇති බවයි ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පවසන්නේ.
තරුණයෙකුට පහර දීම ගැන මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර නොමැති පොලිසිය තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු කාර්යාලයට කඩා වැදී එහි සිටී ඊ.පී.ඩි.පී. මන්ත්‍රී කේ. තිලීපන්ට පහර දුන් බවට චෝදනා කරමිනි.
ගැටුමට මුල් වුනු මන්ත්‍රීවරයා හා ඔහුගේ පුත්‍රයා නිදැල්ලේ සිටින අතරේ පහර කෑමට ලක්වූ පාර්ශවයේ තරුණයන් දෙදෙනෙකු පමණක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.