දේශපාලන උවමනාවන් සඳහා යොදා ගනු ලබන නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට සහාය ලබා දීමට ආණ්ඩුවේ හවුල්කාර වාමාංශික

පක්‍ෂයක් ඉදිරිපත් වී සිටී.

''අද වෙන කොට ත්‍රස්ත පනත එක් එක් දේශපාලන උවමනාවන් සම්පුර්ණ කර ගන්න භාවිත කරනවා දකින්න පුළුවන්. මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන්න ඕනෑ,'' යැයි ලංකාවේ පැරණිතම පක්‍ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ විසින් රටපුරා ගෙන යන ත්‍රස්ත පනත අහෝසි කිරීමට බල කරන මහජන පෙත්සම් ව්‍යාපාරය ගැන, 'වීරකේසරී' පුවත්පත කළ විමසීමකදී මහාචාර්ය විතාරණ මෙසේ ප්‍රකාශ කර තිබේ.

පෙබරවාරි මුල් සතියේදී මුලතිව් මාධ්‍ය සමාජයෙන් ඇරඹි මෙම මහජන පෙත්සම අත්සන් කිරීම කිලිනොච්චිය, වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය, කොළඹ, මන්නාරම, මීගමුව, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන ස්ථාන වලදී පැවැතියේ විශාල ජන සහභාගිත්වයකිනි.

 

ත්‍රස්ත පනත මුළුමනින්ම අහෝසි කිරීමට ආණ්ඩුවට බල කෙරෙන මෙම පෙත්සම සඳහා සාමාන්‍ය ජනයාට අමතරව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, හිටපු විපක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ඇතුළු දේශපාලන පක්‍ෂ, ආගමික හා බහුජන සංවිධාන ක්‍රියාධරයන් රැසක් ද අත්සන් තබා ඇත.

 

''ත්‍රස්ත පනත සහමුලින්ම අහෝසි කරන්න කියලා දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවොත් අපේ උපරිම සහයෝගය ඊට ලබා දෙනවා,'' යැයි රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර ලංකා සමසමාජ පක්‍ෂයේ  නායකයා පවසයි.

''යුද්ද කාලේ මේ ත්‍රස්ත පනත ක්‍රියාවට නැංවුවා. දැන් යුද්ධය අවසන් වෙලා අවුරුදු 12 ක් ගත වෙලත්, තවමත් ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරන එක අසාධාරණයි. අද මේක උපයෝගී කරගන්නේ දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් වාසි ගන්න.''

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට මත්තෙන් ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කොට සිටී සැකකරුවන් රැසක් නිදහස් කෙරුණු අතර තවත් බොහෝ පිරිසක් තවමත් බන්ධනාගාරවල පසුවෙති.

 

''මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා මේ ත්‍රස්ත පනත පාවිච්චි කරන නිසා තමයි ජාත්‍යන්තරය දිගින් දිගටම කියා සිටින්නේ මේක ඉවත් කරන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල් මෙවැනි පනත් ක්‍රියාත්මක කරන්නේ නැහැ.ඒ නිසා මේ පනත අහෝසි කරන එක යහපත් වැඩක්.''යැයි මහාචාර්ය විතාරණ පෙන්වා දෙයි.

 

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජිනීවා නුවරට ගොස් සිටින විදේශ අමාත්‍යවරයා  ජගත් මානව හිමිකම් සමුළුව අමතා කියා සිටියේ ''ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා නොකළ යුතු බව අවබෝධ කරගත්'' ආණ්ඩුව ත්‍රස්ත නීති සංශෝධනයට මුල පුරා ඇති බවයි.

''ලෝකයේ වෙනත් තැන්වල මෙන්, ත්‍රස්තවාදය සමඟ කටයුතු කිරීමේ දී මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාව අතර සාධාරණ සමතුලිතතාවයක් ඇති කිරීම සඳහා අපි උත්සාහ දරන්නෙමු. ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනය මගින් විමර්ශන රඳවා තබා ගැනීමට සහ නඩු විභාගවලට යටත්වන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බවත්, ප්‍රකාශනයේ නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා නොකළ යුතු බවත් ශ්‍රී ලංකාව අවබෝධ කොටගෙන ඇත. මෙම අරමුණු පෙරදැරිව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාශයට පත් කොට වසර 43 කට පසුව එය සංශෝධනය කිරීමේ මූලික පියවරක් වන පනත් කෙටුම්පතක් මා පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළෙමි,'' යි මහාචාර්ය ජී ඇල් පීරිස් මානව හිමිකම් මණ්ඩලයේ 49 වැනි සැසි වාරය අමතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, එජා මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිලිබඳ සිය වාර්තාවේ දක්වා ඇති පරිදි එම සංශෝධන ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවන එම සංශෝධන කෙටුම්පත අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝන වලට ඉඩ සලසන ගැටළු සහගත ප්‍රතිපාදනවල කිසිදු වෙනසක් කර නැත.

''වෙනස්කම් පාමින් හිතුමතේ නීතිය යොදා ගැනීමට ඉඩ සැලසෙන ත්‍රස්තවාදය පිළිබඳ පමණ ඉක්මවා කළ පුළුල් සහ අපැහැදිලි නිර්වචනය, නීතිය ක්‍රියාවේ යොදවන නිලධාරියකු හමුවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන නීතිඥයකු නොමැතිව ලබාගන්නා පාපොච්චාරණ මූලික සාක්ෂිය ලෙස අධිකරණයේ භාවිතා කිරීමට අවසර දීම, මාස 12ක කාලයක් දක්වා පරිපාලනමය වශයෙන්ද, නඩුවට පුර්වයෙන්ද රඳවා තබා ගැනීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන පරිදි නිලධාරීන්ට දණ්ඩ මුක්තිය සැලසීමද ඇතුළු  ප්‍රතිපාදන ඊට අයත් වේ,'' යි මහ කොමසාරිස්  මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති පිටු 16ක වාර්තාවේ දැක්වේ.  






සබැඳි පුවත් 


මානව හිමිකම් කවුන්සිලය : ශ්‍රී ලංකාව පිළිබඳ නිර්දේශ සහ ඉදිරි පියවර - (සුනන්ද දේශප්‍රිය)

මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ශ්‍රී ලංකාවට තර්ජනයක්ද?

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම 'වැඩේ' හරියටම කරලා - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ

'ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්' - නීතීඥ රමණි මුත්තෙට්ටුවේගම

ත්‍රස්ත නීති අකුලා ගන්න බලකිරීමට චන්ද්‍රිකා එක්වෙයි

ත්‍රස්ත පනතට ආණ්ඩුව ගෙනා සංශෝධන වලට එරෙහිව නඩු යයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ සංශෝධිත පනතක් මැතිසබයට - සුමන්දිරන් ගෙන් බාල්දියක්

ත්‍රස්ත පනත: 'පාලකයින් පාලනය ගෙනියන්න භීතිය පතුරනවා' - නීතිවේදිනී එර්මීසා ටීගල්

ත්‍රස්ත පනත: 'සංශෝධන එපා, අහෝසි කරනු' රට තුලින් හඬ නැගේ

ජිනීවා පාරේ ත්‍රස්ත පනත් සංශෝධනයට ජාත්‍යන්තර රතු එළියක්

ත්‍රස්ත පනත අහෝසි කිරීමේ මහජන ව්‍යාපාරයකට උතුර පෙරමුණ ගනී

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image