ශ්‍රී ලංකාව මුහුණ දෙන මේ අභියෝගය උද්ධච්ච මානසිකත්වයකින් තරණය කිරීමට නොහැකි බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස්

පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ඔහු එබව කියා සිටියේ, මාර්තු 02 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි 'මොනාක් ඉම්පීරියල්' ශාලාවේදී පැවැති ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙල හමුවේ සිය අදහස් දක්වමිනි.

ආණ්ඩුව තුළ සිටින වත්මන් ආර්ථික අර්බුදය බැරෑරුම්ව ගත යුතු තැනැත්තා එසේ නොකිරීමට ඇත්තේ හේතු දෙකක් බවත් එකක් ඔහුගේ මෝඩකම බවත් නැත්නම් ඒ අර්බුදය ආපදා තත්ත්වයක් දක්වා වැඩෙන්නට ඉඩ දී බලා සිට එමගින් ලෝක බලවතුන්ට මේ රට ගිල ගැනීමට ඉඩ සලසා දීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායකයා එම උත්සවයේදී අවධාරණය කර සිටියේය.

 

මෙම උත්සයේදී විමල් විරවංශ හා උදය ගම්මන්පිල විසින් සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් බලවත් සේ කෝපය පළකරමින්  ජනාධිපතිවරයා වෙත බලපෑම් කල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විමල් විරවංශ හා උදය ගම්මන්පිල කැබිනට් තනතුරු වලින් ඉවත් නොකරන්නේ නම් තම මින් ඉදිරියට කැබිනට් රැස්වීම වලට සහභාගී නොවන බවට වහාම විදේශගත වන බවටත් තර්ජනය කර තිබු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

එසේ ඇමති තනතුරු අහිමිවීමට පවා බලපෑ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ 'මුළු රටම හරි මගට' ආන්දෝලනාත්මක කතාව සැකෙවින් පහත පළකර ඇත.


“බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබුවාට පසුව අපේ රටේ ඉතිහාසයේ අපි මුහුණ දෙන බලවත්ම ආර්ථික අර්බුදය අභියස සිටයි ඔබ අප අද මුණගැහෙන්නේ. මේ ආර්ථික අර්බුදයේ තරම ක්‍රමානුකූලව අපේ ජීවිතවලට දැන් දැනෙන්න පටන් අරන් තිබෙනවා.

පෙට්‍රල් ෂෙඩ් එකට ගියාම තෙල් ටික නැති වෙනකොට, සිමෙන්ති, ආනයනික කිරිපිටි ඇතුළු වෙනත් ආනයනික නිෂ්පාදන හිඟ වෙනකොට ඒ බව අපට දැනෙනවා. මේ ආර්ථික අර්බුදය දැකලා සමාජයත් රජයත් මෙයට සාමූහිකව මුහුණ දෙන උපායමාර්ගික සැලැස්මකට නාවොත් මෙම අර්බුදය, අපේ රාජ්‍යය මුහුණ දෙන තීරණාත්මක අවසාන අර්බුදය වීමටත් පුළුවන්.


‘සාධක හතරම එකතුවීම’



මේ ආර්ථික අර්බුදය ඉතාම තියුණු අර්බුදයක්, කියා අපි කියන්නේ ඇයි? මේ වෙලාව, සාධක හතරක් එකට එකතු වෙලා, ඉතිහාසයේ පළමු වතාවට ආර්ථික අර්බුදය ප්‍රකාශයට පත් කරන වෙලාවක්.

නිදහසෙන් පසුව අන් කවරදාකවත් අද තරම් විදේශ වත්කම් සංචිතය පහළ වැටී නැහැ.

රටේ සමස්ත ණය වාරිකවල පොලිය අද මුළු රාජ්‍ය ආදායමෙන් 70%කට වඩා වැඩියි. රටක රාජ්‍ය ආදායමෙන් 70%කට වඩා වැය කිරීමට සිදුව ඇත්තේ තමන් ගෙන ඇති ණයවල පොලිය ගෙවීමට නම් එහෙම රටවල් ලෝකේ බොහොමයක් නැහැ.

ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොදු ණය බර වසර දෙකක් තුළ 94% සිට 119% දක්වා 25%කින් වර්ධනයවීමත් සිදුව තිබෙනවා.

 මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල අපේ රට අවදානම් රටක් ලෙස පහතටම ඇද දමා තිබෙනවා.

මේ සාධක 4ම එකට මුණගැසුණේ නැහැ, ඉතිහාසයේ අන් කවරදාකවත්.

මේ සාධක හතරම එකතු වුණාම මොකද වෙන්නේ? ශ්‍රේණිගත කිරීම්වල ඉන්නේ ටිකක් උඩින් නම් අඩුම තරමින් ණයක් හෝ ගත හැකියි. දැන් ණය දෙන්නේ නැහැ. ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙනදා ඩොලර් ණය ගත්තා විදෙස් බැංකුවලින්. මීට පෙර ණය දීපු ආයතන මේ බැංකුවලට ණය ලබාදීමට දැන් සූදානම් නැහැ.

 

රජයක් හැටියටත් අද මූල්‍ය වෙළඳපොළෙන් ණය ලබා ගැනීම ඉතා දුෂ්කර වී තිබෙනවා. අපි දන්නවා පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයා මූල්‍ය වෙළෙඳපොළෙන් 6% – 8% පොලියට ණය ගත්තු බව. අද ඒ මූල්‍ය වෙළෙඳපොළටත් අපව පෙනෙන්නේ ණයක් ගත්තොත් ගෙවාගන්න බැරි කෙනෙක් විදිහට. මේ සාධක හතරින් එකක්, දෙකක් පමණක් සෘණාත්මකව බලපාපු නිසා වෙනදා රෝල ගහගෙන යන්න පුළුවන් වුණා.


''කාපට් කරපු පාරේ යන්න තෙල් ටික නැත්නම් පාර කන්න ද?''



අපි රටක් විදිහට ඩොලර්වලින් කරන වියදම වැඩියි, ඩොලර්වලින් ලබන ආදායම අඩුයි. ඒ පරතරය පියවා ගන්න තමයි ණයවලින් යැපෙන තත්ත්වයට පත්වුණේ.

අපි ණයට අරන් ඩොලර් වියදම් කරලා කිරිපිටි බොන, ඇපල්, සීනි ඇති තරම් කන මිනිස්සු. අපි අතිවිශාල ප්‍රමාණයක් විදේශ විනිමය මේ රටින් එළියට යන විදිහට පරිභෝජන රටාව හදාගෙන තිබෙන මිනිස්සු. දැන් අපේ ඒ පරිභෝජන රටාව හා බැඳුණු ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා.

අපට කාපට් කරපු පාරවල් තිබෙනවා. තිබෙන කාපට් එක උඩ ආයෙත් කාපට් කරනවා. නමුත් පාරේ වාහන යන්න තෙල් නැති වෙනවා. ණය අරගෙනයි කාපට් කරලා තිබෙන්නේ. මේ ගෙවන්න බැරි, ගෙවන්න තිබෙන ණය වාරික ඇතුළේ මේ හැම වියදමක්ම තිබෙනවා. කාපට් කරපු පාරේ යන්න තෙල් ටික නැත්නම් පාර කන්න ද?

 

මේකෙන් පෙනෙන්නේ මේ රට ඉදිරියට පැමිණ ඇත්තේ ඉබාගාතේ බවයි. මේ මුහුණ දීමට සිදුව ඇති ආර්ථික අර්බුදය පිළිබඳව කිසිවෙකු කල්තබා තක්සේරුවක් කර නැහැ. එදා වේලට රෝලක් තමයි මේ ගහගෙන ඇවිත් තිබෙන්නේ.

 

‘දේශපාලන ආතල් ගැනීමට කිසිවකුටත් බැහැ’


අපි ණයට අරන්, නඩත්තු කරන්න බැරි මට්ටමේ ජීවන රටාවක් – සමාජ රටාවක් නඩත්තු කරනවා. තවදුරටත් ‘උගුරට හොරා බෙහෙත් කන්න’ පුළුවන් තත්ත්වයක නොවෙයි මේ රට තිබෙන්නේ. ‘මරණ තුනක් මැද පැණි කන්න’ පුළුවන් තත්ත්වයක නොවෙයි මේ රට තිබෙන්නේ. මේ ආර්ථික අර්බුදයට බැරෑරුම්ව මැදිහත් වුවහොත් මිස එය පාලනය කරගැනීමට හැකිවන්නේ නැහැ.

පෝලිං වැඩිවන තරමට විපක්ෂයට හොඳයි, ආණ්ඩු විරෝධය අවුළුවන්න පුළුවන්. තෙල් නැත්නම් ‘තෙල් දියව්’ කියලා පෙළපාලි යන්න පුළුවන්. ඒ ‘ආතල් එක’ ගන්න පුළුවන්. නමුත් මේක කාටවත් දේශපාලන ආතල් ගන්න පුළුවන් වෙලාවක් නොවෙයි. ආණ්ඩුවක් තිබෙනවා, මේ පිළිබඳව බැරෑරුම් සාකච්ඡාවකින් තොරව. පාලකයන් සිටිනවා, මේ තත්ත්වය පිළිබඳ බැරෑරුම් අවධානයකින් තොරව.

තෙල් නැව මුහුදේ තිබෙනවා, ණයවර ලිපිය විවෘත කරවා ගැනීමට දින තුනක් යනවා. ආණ්ඩුවක් තිබෙනවා, දින තුනකට පස්සෙ ණයවර ලිපිය විවෘත කරවා, ප්‍රමාද ගාස්තුවක් ගෙවා නැවේ තිබෙන තෙල් ටික ගන්න. ආණ්ඩුවක් ඕනෙ, මුහුදේ තිබෙන නැවක් දිහා බලමින් තීරණ ගැනීමට නොවෙයි, මේ සමස්ත අර්බුදය දිහා ගැඹුරින් බලා, ඉන් ගොඩඑන මාවත හරියට හදන්නයි.


‘උද්ධච්ච මානසිකත්වය’


මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න ප්‍රධාන පියවර කිහිපයක් ගන්න ඕනෙ. පළමුකොටම විශේෂඥ සහාය ලබාගත යුතුයි. ‘මට මේ සියල්ල තේරෙනවා. මගේ මොළයයි, ඉතිරි තව හයයි මේ සියල්ලම තිබෙනවා. මට ප්‍රශ්නයක් නැහැ. මම හිතන විදිහට ඔක්කොම වෙනවා නම් මට මොකටද විශේෂඥ සහාය?’ කියා කිසිවකුටත් සිතීමට බැහැ. එවැනි උද්ධච්ච මානසිකත්වයකට මේ අභියෝගය තරණය කිරීමට බැහැ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොවෙයි, එවැනි විශේෂඥ සහාය ලඛාදෙන ආයතන බොහෝ තිබෙනවා. ඒ ආයතන සමඟ සාකච්ඡා කර මේ අර්බුදයෙන් ගොඩ යා හැකි සැලැස්මක් සැකසිය යුතුයි. ඒ සැලැස්ම අතට අරන් යන්න ඕනෙ ණය දුන්නු අය හමුවීමට. ගිහින් කියන්න ඕනෙ ‘ඔබලා කියන ආකාරයට අපට ණය වාරික ගෙවීමට බැහැ. විශේෂඥ සහාය සහිතව අපි හදපු මේ සැලැස්ම අනුව අපි කටයුතු කරන්නම්’ කියා.

අද කෝ ඒ සාකච්ඡාව? අපි අමාත්‍ය මණ්ඩලයේදී පැවසුවා, ‘චීනය, ජපානය වැනි අපට උදව් ලබාදෙන රටවලට මේ අර්බුදයෙන් එළියට ඒමට අපට තිබෙන සැලැස්ම පෙන්වා දීලා උදව් ලබා ගනිමු’ කියා.

ඊට පසුව කැබිනට් පත්‍රිකාවක් ආවා මුදල් ඇමතිතුමාගෙන්, ‘චීනය සමඟ කතා කිරීමට මමත් සමග පස්දෙනෙකුගේ කණ්ඩායමක් ඉන්නවා. ජපානය සමග කතා කිරීමට තව මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉන්නවා’ කියා. මේ විදිහට කැබිනට් අනු කමිටු හදලා කරන සාකච්ඡා නොවෙයිනෙ අවශ්‍ය වන්නේ, බැරෑරුම් මැදිහත්වීමක්නේ.


මුදල් ඇමති - මහ බැංකු අධිපති ගැටුම !


මහ බැංකු අධිපතිතුමන් කියනවා, ‘මාස හයක් තිස්සේ මේ තත්ත්වය හමුවේ ගත යුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 09ක් යැව්වා. ඒ කිසිවකට ප්‍රතිචාර දැක්වීමට, කන් දීමට වෙලාවක් නැහැ මුදල් ඇමතිතුමාට’ කියා.

බරපතළ විදේශ විනිමය අර්බුදයකින් පීඩාවිඳින රටක මහ බැංකු අධිපතිවත් මුණගැසීමට මුදල් ඇමතිට වෙලාව නැතිනම්, ඒක කෙළවා ගැනීමට ඉඩ දී බලා

සිටීමක්.


අර්බුදය බැරෑරුම්ව ගත යුතු කෙනා බැරෑරුම්ව ගන්නේ නැත්නම්, ඒකට තිබෙන්න පුළුවන් හේතු දෙකයි. එක්කෝ මෝඩකම. නැතිනම් අර්බුදය ආපදා තත්ත්වයක් දක්වා වැඩෙන්න ඉඩ දී බලා සිටීම. එමගින් ලෝක බලවතුන්ට මේ රට අත්පත් කර ගැනීමට ඉඩ සලසා දීම. මේ රටේ ආර්ථිකයට ඔවුන්ට අවශ්‍ය ‘වෙට්ටු ටික’ දාගන්න, අත්සන් කර ගැනීමට බැරි වුණු එම්සීසී ගිවිසුම යළි ගෙන එන්න, ලෝක බලවතුන්ට අවශ්‍යයි.


මෙවැනි අර්බුදයක් ආවාම ආනයනික භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. ඉන්ධන හිඟය හේතුවෙන් දෛනික පැවැත්ම බිඳවැටෙනවා. එවැනි මොහොතක ජනතාවට විෂම මනසක් ඇති වෙනවා, ‘මොකාට මොක දීලා හරි මේ ප්‍රශ්නය ඉවර කරපල්ලා’ කියන.

ඕක වුණා ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති සුහර්තෝගේ පාලන කාලයේ. ඉන්දුනීසියාවේ විශාල ආර්ථික අර්බුදයක් ආවාම ලෝක බැංකුව කීවා, ‘අපි දෙන්නම් ඩොලර් බිලියන 03ක්. හැබැයි ඉන්දුනීසියාවේ ‘බණ්ඩා අචෙ(Banda Aceh)’ ප්‍රදේශය ස්වයං පාලන ප්‍රදේශයක් කරන්න ඕනේ. නැගෙනහිර ටිමෝරය වෙනම රාජ්‍යයක් කරන්න ඕනේ’ කියා.

සුහර්තෝ කිව්වා ‘නැහැ මම ඒකට එකඟ වන්නේ නැහැ’ කියා.

පසුව විරුද්ධ පක්ෂයේ අය ජනතාවත් සමග පෙළපාලි ආවා, ‘ලෝක බැංකුවෙන් ණය අරගෙන අපට කන්න දීපන්. බණ්ඩා අචේ කන්නද? නැගෙනහිර ටිමෝරය කන්නද?’ කියමින්.

ඊළඟට ආපු ඡන්දයෙන් සුහර්තෝ පැරදුනා. දිනපු කෙනා ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 03 අරගෙන එයාලා කියපු වැඩේ කළා. නිකම් නොවෙයි කළේ. පොදු ජනයාගේ ආශිර්වාදය ඇතිව.

මෙවැනි අර්බුදයකදී පොදු ජනයා යනවා විෂම මනසකට. මේ විෂම තත්ත්වය ඇතිවන එකේ වාසිය ගන්න පුළුවන් වෙන්නේ වෙන කාටවත් නොවෙයි බලවත් රටවලට.

විවිධ යුගවල, විවිධ ආක්‍රමණ, අභියෝග, ගිවිසුම් ආවත් ඒ හැම වෙලාවකම මේ රටේ මිනිස්සු ඊට එරෙහිව නැගිටලා තිබෙනවා. හැබැයි පාරේ වාහන යන්න තෙල් ටික නැති වෙන වෙලාවට, හදපු බිල්ඩිමේ ඉතිරි ටික හදන්න සිමෙන්ති ටික නැති වෙනකොට, කෑමට හුරු වී ඇති පරිප්පු වැනි ආනයනික කෑම නැති වෙනකොට, ආනයනික අමුද්‍රව්‍ය ටික නැතිවෙලා කර්මාන්තශාලාව වැහෙනකොට, රැකියාව නැතිව පාරට වැටෙන කොට ‘ මොකාට මොක දීලා හරි කමක් නැහැ. අපට කන්න දියව්’ කියන විෂම මනසට සමාජය ඇද දැමීමට පුළුවන්.

 

මේක මෙහෙම අර්බුදයෙන් අර්බුදයට යාමට ඉඩදී කවුරුන් හෝ සතුටින් සිටිනවා නම් එහෙම ඉන්න පුළුවන්, දැනුවත්ව මේ අත්පත් කරගැනීමේ අවස්ථාවට, මේ රාජ්‍යය ඇදවට්ටවාලීමේ අරමුණ ඇතිව මිසක්, ඒ අරමුණින් තොරව නොවෙයි.

 

‘කිසිවක් සිදුව නැහැ’


මේ අර්බුදයෙන් ගොඩඒමට විශේෂඥ සහාය ඇතිව හදපු සැලැස්මක් තිබෙනවාද? මහ බැංකු අධිපති සහ මුදල් ඇමැති අතර සාකච්ඡාවක් මාස 06කින් සිදුව නැතිනම් වෙන සාකච්ඡා කෙසේ කරන්නද? මහජනයාට කියා තිබෙනවා ද මේ රට මුහුණ දී ඇති අර්බුදයේ ප්‍රමාණය? දැන් අපේ ජීවන රටාව වෙනස් කර ගනිමු, කියා මහජනයාට පවසා තිබෙනවා ද? අපේ කෘෂිකර්මාන්තය බලගන්වමු, කියා පවසා තිබෙනවා ද? මේ කිසිවක් සිදුව නැහැ.

 මහජනයා කියන්නේ මේ රටේ අයිතිකරුවෝ. පාලකයෝ කියන්නේ මේ රටේ භාරකරුවන් පමණයි. භාරකරුට වගකීමක් තිබෙනවා; අර්බුදයක්, ආපදාවක්, අනතුරක් එනකොට අයිතිකාරයාට ඒ පිළිබඳව හරියට කියලා දෙන්න. අයිතිකාරයයි, භාරකාරයයි එකට හිටගෙන තමයි මේ අර්බුදයෙන් ගොඩඒමට පුළුවන්.


‘ආපදා තත්ත්වය වළක්වාගැනීම’

 

අපට උවමනා, මේ රට අර්බුදයෙන් අර්බුදයට ඇදවැටීමට ඉඩදී කාලකන්නි සන්තෝෂයක් ලැබීමට නොවෙයි. අපට උවමනා මේ අර්බුදය ඇතුළේ අපේ ඉරණම් කතාව ලියවාගන්න නොවෙයි. අපට උවමනා නිදහසින් පසුව අපේ රට මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදය, ආපදා තත්ත්වයකට පත්වීම වළක්වාගැනීමටයි.

 

මේ අර්බුදය ආපදා තත්ත්වයකට වර්ධනය වුවහොත් පමණයි, මේ රට තුළට ආපදා අධිරාජ්‍යවාදයට ‘හොම්බ දමා ගන්න’ පුළුවන් වෙන්නේ. අර විෂම මනසින් ඉන්න මිනිස්සුන්ගේ අනුමැතිය ඇතිව හෝ නැතිව මේ රට අත්පත් කරගැනීමේ ඔවුන්ගේ නොසන්සිඳෙන උත්සාහය සාර්ථක කරගැනීමේ වාතාවරණය ඇති වන්නේ එතකොටයි. මෙහෙම තත්ත්වයක් වැඩෙන්න ඉඩදී නිහඩව සිටීමට අපට පුළුවන්ද?


‘හොරට නිදන අය අවදි කිරීම’


ආණ්ඩුව තුළ නියෝජනය වන අපේ පක්ෂය 11 ධෛර්යසම්පන්නව මේ තීරණය ගනු ලැබුවේ වෙන කිසිවකටත් නොවෙයි, මේ විපත්තිකාර අවදානමින් මේ රට බේරාගැනීම සඳහා, හොරට නිදාගෙන ඉන්න කවුරුහරි ඉන්නවා නම් ඒ අයව ඇහැරවන්න පුළුවන්නම් ඇහැරවන්න.(අත්පොළසන්) ඇහැරවන්න බැරිනම් මේ රටේ පොදු ජනතාව අතර ඒ සබුද්ධික අවබෝධය වඩවාලන්න.

මෙවැනි අර්බුද රටවල ඇති වෙනවා. ඒවාට මුහුණදී අර්බුදයෙන් ගොඩ ආ රටවල් තිබෙනවා. ඒ සඳහා ඇහුම්කන් දීම, සංවාදය, විශේෂඥ සහාය ලබාගැනීම සිදු විය යුතුයි.

 

මහජනයා මහපාරට ඇදවැටෙන තෙක්, අම්මෙක් අප්පෙක් නැති ගාණට ඇදවැටෙන තෙක්, අපි බලා සිටියහොත් අපි කරන්නෙත් වරදක්. ඒ වරදේ සාමූහික වගකීමෙන් මිදෙන්න අපි කාටවත් බැහැ.

 

මේ අවදානම දකින කණ්ඩායමක් හැටියට, උද්ධච්චකමෙන් මේ අවදානමෙන් ගොඩඑන්න බැහැ කියලා පිළිගන්න පිරිසක් විදිහට, අපට අපේ රට වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට කාලය විසින් බලකර තිබෙනවා. අපි අවධාරණය කරනවා, මීට පෙර අපේ රට මුහුණ දුන් සියලු අභියෝගවලින් ජය ගැනීමට අවශ්‍ය කරන ධෛර්යය ලබාදෙන්න අපට පුළුවන් වුණා වගේම මේ විපත්තිදායක අවස්ථාවෙත් අපි අපේ යුතුකම ඉටුකරන බව.


මේ රට කොතරම් ‘ෂෝක්’ රටක්ද ?


දැන් බලන්න මේ රට කොතරම් ‘ෂෝක්’ රටක්ද කියා. පසුගිය මාස තුනට, ඇපල් මෙට්‍රික් ටොන් 5731ක්, දොඩම් මෙට්‍රික් ටොන් 4527ක්, දෙළුම් මෙට්‍රික් ටොන් 734ක් ගෙන්වලා. මෙහෙම අවස්ථාවක කළ යුත්තේ තිබෙන ඩොලර් ටික ප්‍රමුඛතාව අනුව කළමනාකරණය කරන එක. අද මේ රටේ කළු සල්ලි ඩොලර් වෙළෙඳපොළ ප්‍රබල වෙලා.

 

මම ලෝකයේ කිසිම මුදල් ඇමති කෙනෙකුගෙන් අහලා නැහැ, කළු සල්ලි මාකට් එක ප්‍රවර්ධනය කරන කතා. මේ වෙලාවේ කළු සල්ලි වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් දුර්වල කරන්න ඕනේ. නැතිනම් මේ රටට නීත්‍යනුකූල මාර්ගවලින් මුදල් ඒම අඩපණ වෙනවා.

 

දකුණු කොරියාවේ රැකියා කරන තරුණ දරුවන් අතරින් 90%ක් මේ රටට සල්ලි ටික එවන්නේ ‘උන්ඩියල්’ ක්‍රමය මගින්. එමගින් බැංකු පැත්තට හැරෙන ‘ඩොලර් ගඟ’ හිඳෙනවා. හොර පාරෙන් එන ‘ඩොලර් ගඟ’ තර වෙනවා.

‘ඒක ප්‍රශ්නයක් නොවෙයි’ කියලත් කියනවා. ‘ඒක ප්‍රශ්නයක් නොවෙයි’ කියන එක ‘මේ රට හතරගාතෙන් වැටුණාට ප්‍රශ්නයක් නැහැ’ කියන කතාවේම වෙන මුහුණුවරක් නොවෙයිද?


‘සන්තෝසම : හොඳ විශ්‍රාම ජීවිතයක්’


මේ රට හතරගාතෙන් ඇදවැටීමට දීලා බලා ඉන්න කෙනාට ලැබෙන සන්තෝසම කුමක්ද? උපන් බිමේ හෝ වෙනත් බිමක හොඳ විශ්‍රාම ජීවිතයක්. මේ අපේ රට සමගයි සෙල්ලම් කරන්නේ.

 

අපට ඩබල් රටවැසිභාවයක් නැහැ. එකයි තිබෙන්නේ. ඉන්න හරි, මැරෙන්න හරි ඔක්කොටම තිබෙන්නේ මෙතැනයි. අපට මෙතැන තිබෙන වගකීම මොන කෙරුම්කාරයා විරුද්ධ වුවත් අප අත හරින්නේ නැහැ.

 

මේ තත්ත්වයෙන් ගොඩඒමට අවශ්‍ය පියවර නිර්දේශ කරනු ලබන මේ ජාතික ප්‍රකාශනය ගමින් ගමට රැගෙන ගොස් ඒ පිළිබඳ ජනතාව අතර සංවාදය හැදීමටත් ඉදිරියේ මේ සම්බන්ධයෙන් අප ගනු ලබන සියලු පියවර සමග එක් වීමට සූදානම් වන ලෙසත් ඉල්ලනවා.”



මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උලෙළ අමතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ලංකා සමසමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු සහ විජයධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස පිළිගැනීම හා ඉහත ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අරමුණ පැහැදිලි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර සිදු කළේය.

සෙසු පක්ෂ නායකත්වය නියෝජනය කරමින් එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ද එක්ව සිටියහ. එසේම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ඉහත පක්ෂ 11 නියෝජනය කරන සියලු අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන යන නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් වෙත “මුළු රටම හරි මගට” ජාතික ප්‍රකාශනය පක්ෂ 11හි නායකත්වය විසින් පිළිගන්වන ලදී.


“මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුලත් ජාතික ප්‍රකාශනය මෙන්න

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්