theleaderlk 01

ජනතාව මුහුණ දෙන ගැටළුවලට විසදුම් සොයනවා වෙනුවට ඇමැතිවරුන් මාරු කරන රාජපක්ෂ ආණ්ඩුව ඉන්ධන අර්බුදයට පිළියම් නොයෙදුවොත් සාගතයක් අත ළඟ බවට කඳුකර දෙමළ දේශපාලන පක්‍ෂයක් අනතුරු

හඟවා තිබේ.

''නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩීසල් හිඟයෙන් ගොවීන් දැඩි පීඩාවට පත් වෙලා. ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන ඒමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා අවට  ප්‍රදේශවල විශාල එළවළු හිඟයක් පවතිනවා. මේ තත්වය දිගටම පැවතුණොත් රටේ සාගතයක් ඇතිවීම  නවත්වන්න කාටවත් බැහැ,'' යි කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධාක්‍රිෂ්ණන් පවසයි.

 හැටන් නගරයේදී කඳුරට මාධ්‍යවේදීන් පෙරේදා [04] ඇමතූ කඳුරට ජනතා පෙරමුණු නායකයා පෙන්වා දුන්නේ ඉන්ධන හිඟය නිසා මුළු රටේම ප්‍රවාහනය ඇන හිටින තත්වයක් උදාවී ඇති බවයි.



''ඩීසල් නොමැතිකම හේතුවෙන් වතු කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙනවා. ඇඟළුම් කම්හල් වලත් විදුලි කප්පාදුව නිසා නිෂ්පාදනය අඩපන වෙලා.''යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාධාක්‍රිෂ්ණන් සඳහන් කරයි.



කාපට් අතුරා අධිවේගී මාර්ග ඉදි කළ ද ජනතාවගේ කුසගින්න නිවීමට ඒවා ප්‍රයෝජනවත් නොවන බව පෙන්වා දෙන රාධාක්‍රිෂ්ණන් පවසන්නේ කිසිදූ කාරණාවකදී කළමනාකාරිත්වයක් පෙන්නුම් නොකරන රාජපක්‍ෂ ආණ්ඩුව ඔළුවේ අමාරුවට කොට්ට මාරු කරන්නාක් මෙන් ඇමතිවරු මාරු කරමින් සිටින බවයි.

''ඇත්ත කතා කරපු සුසිල් ප්‍රේමජයන්ත එලෙව්වා. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල නෙරපා හැර තිබෙනවා. ආණ්ඩුව සත්‍ය කතා කරන අයගෙන් පළිගන්නවාද නැතිනම් ඇත්ත කීම නවත්වන ලෙස වෙනත් ඇමැතිවරුන්ට තර්ජනය කරනවාද?''යැයි ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

 
 

Leader Whats app

 

 

 

නවතම පුවත්