ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

 

රට මේවන විට මුහුණූ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් යෝජනා 08ක් රජයට ඉදිරිපත් කර ඇත.

කඩිනමින් ක්‍රියාවට නැංවීම උදෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම යෝජනා රජයට ඉදිරිපත් කර ඇත්තේ, රජයේ ආර්ථික හා මුළ්‍ය උපදේශක ලෙසයි.

මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය මෙම යෝජනා ඉදිරිපත්කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරමින් ගෙන ඇති තීරණය ප්‍රකාශයට පත්කරමිනි.

ඒ අනුව මේ වසරට දෙවන වරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ නැංවීය.

"බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථික කටයුතු සඳහා අඛණ්ඩව බාධා ඇතිවීම් සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් සහ සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය," යනුවෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.


මහ බැංකුවේ යෝජනා


මේ අතර රටේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයා වන මහ බැංකුව රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිය වෙනස්කිරීමට අදාල නිර්දේශ රාශියක් ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවන් නම්:

1- මහ බැංකුව විසින් මීට පෙර කරන ලද නිර්දේශය මත අත්‍යාවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන අධෛර්යමත් කිරීමට පියවර හඳුන්වා දීම.

2- වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම.

3- විදේශ ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිමත් කිරීම.

4- බලශක්ති සංරක්ෂණ පියවර ක්‍රියාවට නැංවීම, පුනර්ජනනීය බලශක්තිය දෙසට ගමන් කිරීම වේගවත් කිරීම.

5- තිරසාර පදනමක් මත සුදුසු බදු වැඩිකිරීම් හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීම.

6- හදිසි පදනමක් මත විදේශ මූල්‍යකරණය සහ ණය නොවන විදේශ විනිමය ගලා ඒම බලමුලු ගැන්වීම.

7- උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගි වත්කම් වලින් මුදල් ඉපැයීම.

8- අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම.


පොලී අනුපාත ඉහළට


මෙම යෝජනාවලට අමතරව බංකු පොලිය කෙරෙහි බලපාන ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීම මගින් වැඩි සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය කරනු අතැයි මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 6.50% සහ සියයට 7.50 % දක්වා ඉහළ දැමිනි. ඒ සමගම බැංකු පොලී අනුපාතය ස්වයංක්‍රීයවම 10.5% දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකුව සඳහන් කළේය.


ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය


නියාමනය කරන ලද පොලී අනුපාත ඉහළ දැමීමටද මහ බැංකුව පියවර ගත්තේය.
ඒ අනුව,

# ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා උපරිම පොලී අනුපාතය 20.00%

# බැංකු අයිරා සඳහා උපරිම පොලී අනුපාතය 18.00%

# උකස් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාතය 12.00% දක්වා ඉහළ දමන ලදී.


ආනයන වියදම ඉහළට:


වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් අඛණ්ඩව ඩොලර් බිලියනයකට වඩා වාර්තා වුවද 2022 ජනවාරි මාසයේදී අඛණ්ඩව අටවැනි මාසයටත්, ආනයන වියදම් ඉහළ මට්ටමක පැවතුණු බව මහ බැංකුව සඳහන් කළේය.

සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර, මෑත කාලීන භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් මේ වසර තුළ සංචාරක කර්මාන්තයට යම් දුරකට බලපානු ඇතැයි පුරෝකථනය කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ සංක්‍රමණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඉදිරි කාලසීමාව තුළ ප්‍රේෂණ ලැබීම් වල වැඩිවීමක් මහ බැංකුව අපේක්ෂා කරන බව පැවසීය.

2022 ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල පුළුල් ලෙස ස්ථාවරව පැවති බව මහ බැංකුව පවසයි.

එම කාල සීමාව තුළ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 2.4 ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති අතර එය මාස 1.3 ක ආනයනවලට සමාන වේ.

රජයේ සාර්ථක COVID-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය සහ සංචරණ සීමා ලිහිල් කිරීම මගින් දේශීය ආර්ථිකය ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩි දුරටත් මහ බැංකුව පැවසීය.

කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් මෑත කාලීන අහිතකර වර්ධනයන් ආර්ථික ක්‍රියාකාරීත්වයට තරමක් බලපෑ බව මහ බැංකුව සඳහන් කළේය.

සැපයුම් දාමය අඩපන වීමට සහ භාණ්ඩ මිල ඉහළ යාමට එය හේතුවී තිබෙන බවත් එමෙන්ම දේශීය නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ අපනයන හිතකරව පවත්වා ගැනීම උදෙසා දේශීයව බලශක්ති සහ සැපයුම අඩපනවීම වහාම විසඳිය යුතුව ඇතැයිද මහ බැංකුව සඳහන් කළේය.

(BBC සිංහල සේවය )

 
 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image