තම සොයුරු බැසිල් රාජපක්ෂගේ බලපෑම මත ජනාධිපතිවරයා විසින් පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉවත්කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ
විභාගය මැයි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එම නඩුව අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නඩුවේ විභාගය මැයි මස 30 වනදා කැඳවීමට නියම කළේය.
එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කරනු ලැබීය.
එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හයදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පැවති උද්ඝෝෂණය
කුරුඳුවත්ත පොලිසිය මගින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ සඳහන් කර තිබෙන්නේ, 2016 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කොට මහජන පීඩාවක් විත්තිකරුවන් විසින් සිදුකරනු ලැබ ඇති බවය.
ඒ තුළින් ඔවුන් අපරාධමය වරදක් සිදුකර ඇති බව ද පොලිසිය ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් වේ.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා සහ ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ එම පක්ෂයෙ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීරොජර් සෙනෙවිරත්න යන අය නම් කර තිබේ.
ශෂී වීරවංශ ගේ නඩු තීන්දුව මාර්තු 10
මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට (රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති) අදාල නඩු තීන්දුවක් මාර්තු 10 දා ප්‍රකාශයට පත්වීමට නියමිතය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ ශෂී වීරවංශ ට අදාළ නඩු දෙකෙහි නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි නියෝගය ලබන මාර්තු මස 10 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල පෙබරවාරි 11 දා නියම කර සිටියේය.
මෙම නඩුවට අදාළව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නිතීඥ මඩුල්ලක් එදින අධිකරණය හමුවේ පෙනී සිටියේය.