අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමේ වැඩපිළිවෙලක් නොමැතිනම් වහාම මානුෂීය ආධාර ඉල්ලුම් කරන්නැයි 'සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය' රජයෙන්

ඉල්ලා සිටියි.  

රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම හිග ඖෂධ අතර ජීවිතාරක්ෂක ඖෂධ තුනක්ද ඇති බව වාර්තාවෙයි.

හදවත් රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ මෙසේ හිඟතාවයක් ඇතිව තිබේ.

ඖෂධ ආනයනය සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ණයවර ලිපි නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ නැවත ලියාපදිංචි කිරීම මෙන්ම නව ලියාපදිංචියේදී ඇතිවන ප්‍රමාදය ආදී කරුණු මෙම ඖෂධ සඳහා බලපා ඇත.

මෙම තත්ත්වය මත ඉදිරි සති දෙක කාලයේදී රජයේ රෝහල්වල ඖෂධ හිගය තවදුරටත් දරනු වනු ඇතැයි ද වාර්තා වෙයි.


අතිශයින්ම භයානක තත්ත්වයක් !

 

මෙම බරපතල තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන 'සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය' සභාපති රවී කුමුදේශ් පවසන්නේ, මේ වන විට අපේ රට මුහුණ දෙමින් සිටින ඖෂධ හිඟය සරල කාරණයක් නොව ඉතා බැරෑරුම් ලෙස අවධානය යොමුකළ යුතු කාරණයක් බවයි.

 

''රෝහල් වල ඖෂධ හිගයි' කියන සටන් පාඨය අපි කාලාන්තරයක් තිස්සේ පාවිච්චි කරන යල් පැනගිය සටන් පාටයක්. රෝහල් වල සාමාන්‍ය තත්ව යටතේදී පවා ඖෂධ කිහිපයක් නැතිවන බව සහ ඊට අදාලව වෛද්‍ය වරයා විසින් දෙන ලද කොල කැබැල්ල රෝහල ඉදිරිපිට ඇති ඕනෑම ෆාමසියකට රැගෙන ගිය විට, 'නැති ඖෂධය' ලැබෙන බවත්, ඊට රෝහලේ ඉන්න බොහෝ අය පුදුම කැමැත්තක් දක්වන බවත් අපේ රටේ මහජනතාව හොදින් දන්නා බැවින්, ඔවුන් එය එතරම් ගනන් ගන්නේ නැ....

කොහොම වුණත් මේ වන විට අපේ රට මුහුණ දෙමින් සිටින ඖෂධ හිගය එහෙම සරල එකක් නොවන වග අප මුලින්ම තේරුම් ගත යුතුයි.

මේ මොහොත වන විටත් පෞද්ගලික ඖෂධ හල් සදහා ලබා දෙන ඖෂධ ගබඩා වලින් 60% අහවරවී ඇති අතර, පවතින ඖෂධ ගබඩා ප්‍රමාණය සති 4-6 දක්වා කාලයකින් අහවර වීමට නියමිතයි..'' රවී කුමුදේශ් පවසයි.


රජය ඖෂධ ආනයනයට අවශ්‍ය ණය වර ලිපි නිකුත් නොකිරීම :


රවී කුමුදේශ මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි කරන්නේ මේ විදියට.

''සාමාන්‍ය නිෂ්පාදන භාණ්ඩයක් විදිහට, අද ඉවර වුණාම හෙට ඖෂධ රැගෙන ඒමට නොහැකි බැවින් තවත් මාස දෙකකදී අප බරපතල ඖෂධ හිඟයකට  මුහුණ දෙන එක නොවැලැක්විය හැකි තත්වයකට පත් වෙලා ඉවරයි.

 

ඖෂධ ගෙන්වා බෙදාහරින සමාගම් සඳහා අවශ්‍ය ණයවර ලිපි ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රජය සහ පෞද්ගලික අංශයට අවශ්‍ය ඖෂධ ඇනවුම් මේ වන විට නතර වී ඇත. ඒ අනූව තව මාස දෙක තුනකදී ඖෂධ රටට පැමිණීම ඉතා දුර්වල තත්වයකට පත් වීම අනිවාර්‍ය වන අතර, අද දවසේ ණයවර ලිපි නිකුත් කලද එම ඖෂධ රටට පැමිනීමට මාස 3කට වඩා වැඩි කාලයක් ගත වේ.

 

ඖෂධ මාෆියාව සහ ලාභාංශය :


ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් විකිනීමෙන් ලබා ගතයුතු ලාභය සදහා ශිෂ්ඨ සම්පන්න ජන සමාජය තුල සීමාවක් තිබිය යුතුය. භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කිරීම සඳහා වැයවන මුදලට සාපෙක්ෂව එකතු කරන ලද ලාභාංශයක් මගින් ඉතා පහසුවෙන් එම සීමාව නිර්මාණය කර ගත හැක.

නමුත් ඖෂධ වෙළඳාම ජාවාරමක් ලෙස සහ සෞඛ්‍ය සේවාව ලාභ ඉපයීමේ ව්‍යාපාරයක් පමණක් ලෙස සලකන බොහෝ අයටට මෙම සූත්‍රය තේරෙන්නේ නැත.  ඔවුන් ඒ සදහා ඖෂධ සහ සෞඛ්‍ය යනු කිසිවකුට නොතේරෙන, විශාල සංකීර්ණ විෂයක් බව පෙන්වමින් සාමාන්‍ය මහ ජනතාව ගොනාට ඇන්දවීම සිදු කරයි.

නමුත් අනෙකුත් ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සේම, ඖෂධ සහ සෞඛ්‍ය සේවාවන්ද නිශ්චිත නිශ්පාදන වියදමක් මූලික කර ගනිමින් ඉතා පහසුවෙන් මැනිය හැකිය.

අප භාවිතා කරන සෑම ඖෂධයක් සඳහාම නිශ්චිත නිෂ්පාදන වියදමක් ගණන් බලා තිබීම අනිවාර්‍ය වන අතර, ජාත්‍යන්තර අලෙවිකරන සේවා (IMS) වැනි ආයතන හරහා එම දත්ත පහසුවෙන් ලබා ගත හැකි බැවින්, අනෙකුත් භාණ්ඩ හෝ සේවාවන්ටත් වඩා පහසුවෙන් ඖෂධ හා සෞඛ්‍ය සේවාව සදහා අවශ්‍ය ප්‍රතික්‍රියක හා රසායන ද්‍රව්‍ය සදහා වන 'නිශ්පාදන වියදම' ඉතා පහසුවෙන් තහවුරු කර ගත හැක.


මිල පාලනය කරන්නේ කොහොමද?


සරළව කිවහොත්, ඖෂධ මිල පාලනය සඳහා ද කල යුත්තේ පාන් ගෙඩියකට හෝ සීනි කිලෝවකට සිදු කරනු ලබන දේමය. මෙහෙම කියනකොට, " පාන් වගේ නෙවේ ඖෂධ, ඒවා මාර සංකීර්ණයි" වගේ අදහසක් සමාජ ගත කරන්නට උත්සාහ දරනුයේ ඖෂධ මාෆියාවේ කොහේ හෝ රැදෙන කොටස් කරුවන් විසිනි.

පාන් ගෙඩියක මිල පාලනය වීමට අදාල වැදගත් හේතු දෙකක් ඇත. පාන් ගෙඩියක් වෙළදපලේ විකිනිය හැකි උපරිම සිල්ලර මිලක් නීති ගත කිරීම ඉන් පළමු වැනි අවශ්‍යතාවය වන අතර, එම මිලට විකිනෙන්නේද යන්න නිරන්තර පරීක්ෂාවට ලක් වීම දෙවැනි අවශ්‍යතාවයයි. එසේ නොවන අවස්ථාවන්හිදී ඊට විරුද්ධව නැගී සිටීමට තරම් මහජනතාව දැනුවත් වීම හා ක්‍රියාත්මක නීතියක් තිබීම තුන් වැන්නයි.


පාවෙන මිළ පාලනය :



මේ වන විට අපේ රටේ ඖෂධ වර්ග 60ක් පමණ මිල පාලනයකට ලක් කරලා තිබෙනවා. ඒ අනූව වෙළදපල තුල ඇති ඖෂධ වර්ග 300ක් පමණ විකිනිය හැකි උපරිම සිල්ලර මිලක් පවතිනවා. ඖෂධ වර්ග 48ක් සඳහා මිල පාලනයක් මුලින්ම ගේන්නේ 2017 වසරේදී. 2018 වසරේදී තවත් ඖෂධ වර්ග 25ක් සදහා උපරිම සිල්ලර මිලක් තීරණය කරනවා. නමුත් මේ මිල පාලනය වෙළදපලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 


සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ තොරතුරු මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කරලා, වැඩි මිලට ඖෂධ විකුණන තැන් හොයා ගන්නකොට ඖෂධ නියාමන අධිකාරිය වැටලීම් පටන් ගන්නවා. තනි තනි වශයෙන් ඖෂධ හල් වැටලීම සිදු කරන තුරු ඖෂධ සදහා සැබෑ මිල පාලනයක් කරන්න බැහැ. මේ වෙනකොටත් ඖෂධ 300කට පමණ මිල පාලනයක් තිබෙනවා. ඒත් ඖෂධ නියාමන අධිකාරියේ වැටලීමත් පාලනය වෙලා තියෙන්නේ. ඒ නිසාම මිල පාලනය පාවෙලා යමින්, හිතූ හිතූ මිලට ඖෂධ විකීනීම සිදු වෙනවා.


පා කල යුත්තේ ඩොලරයද, ඖෂධ මිලද ?


ඩොලරය පා කලත්, ඖෂධ මිල පා කලත් අනිවාර්‍යෙන්ම ඖෂධ මිල දෙගුණයකට වඩා වැඩි වෙන එක වලක්වන්න බැහැ. මේ විදිහට පාලනය කරලා තියෙන්නේ, ඉතා විශාල ලෙස භාවිතාවන ඖෂධ. එම ඖෂධවල මිල ඉහල යෑම හරහා ශ්‍රම බලකායට ඇතිවන පාඩුව දීර්ගකාලීනයි.

අනෙක් අතට, වැඩිපුර රට තුල ඖෂධ මිලට ගනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා, ඖෂධ මිල ඉහල යෑම සෘජු ලෙසම සෞඛ්‍ය වියදමට බලපානවා. ඒ වියදම විදේශ විනිමයට බල පානවා. විදේශ සංචිත හුවමාරුව අඩු වෙනවා. මේ හේතු සියල්ල සැලකීමේදී ඖෂධ මිල පා කිරීම, කෙතරම් අසීරු මොහොතකදී වුවද, රටට, රජයට හෝ මහජනතාවට වාසියක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.


''ආණ්ඩුවේ කෝකටත් තෛලය ඉන්දියාණු ක්‍රෙඩිට් ලයින් එක පිළියමක් නොවේ ''


ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා ඖෂධ හිඟයට පිළියම් සෙවිය හැකි බව සෞඛ්‍ය අමත්‍ය වරයා ප්‍රකාශ කලද, එය එදා වේල උත්තරයක් මිස, දීර්ග කාලීන විකල්පයක් නොවේ.

ලෝකයේ රටවල් 30කට අධික ප්‍රමාණයකින් ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වන අතර, ඉන්දියාවෙන් ගෙන්වනු ලබන්නේ අත්‍යවශ්‍ය ඖෂධ වලින් 20%කට වඩා අඩු ප්‍රමාණයකි. එම ඖෂධ සියල්ලම පහේ 'අනුකරණ ඖෂධ' වන අතර, අත්‍යාවශ්‍ය 'සුවිශේෂී ඖෂධ' (Inovative Drugs) ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට නොහැකිය.

 

ක්ෂණික මරණයක් ඇතිවීම වැලැක්වීම සදහා ශරීරයේ ඇතිවන රුධිර කැටියක් ක්ෂණිකව දිය කල හැකි 'ටෙනෙක්ටප්ලේස්' වැනි ඖෂධ නිදසුනක් ලෙස දැක්විය හැකිවන අතර, එම ඖෂධය නිපදවන්නේ ජර්මනියේ එක් සමාගමක් පමණි. එනයින් ඉන්දියානු අනුකරණ ඖෂධ මගින් පමණක් සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට කිසිසේත්ම නොහැකි බව වටහා ගනිමින් අප ඖෂධ අර්බුදයට පිළියම් සෙවිය යුතුය.

 

නිෂ්පාදන පිරිවැය අසීමාන්තිකව වැඩිවීම :


කොහොම වුණත් ඖෂධ සඳහා වන නිෂ්පාදන පිරි වැය අසීමාන්තිකව වැඩිවීම පිළිබදවද රජයේ අවධානය යොමු විය යුතුය.

බොහෝමයක් ඖෂධ ගෙන්වා බෙදා හරිනු ලබන්නේ පෞද්ගලික සමාගම් වන බැවින් හා ඒවා මහජනතාවට ලබා දීමට පෙර ඉහල පෙලේ සෞඛ්‍ය වෘත්තිකයින්, නිළධාරීන්, ලියාපදිංචි ආයතන ඇතුළු විශාල ප්‍රමාණයකට කොමිස් ඇතුළු අතරමැදියන් විශාල ප්‍රමාණයකට නිළ සහ නිල නොවන පගා ගෙවීම් රැසක් සඳහා මුදල් වැය කිරීමට සිදුවන ජරාජීර්ණ වූ ක්‍රමයක් රට තුල ක්‍රියාත්මක බැවින්, විශාල ලාභාංශයෙන් නොමැතිව ඖෂධ ගෙන්වන සමාගමකට නඩත්තු විය නොහැකිය.

ඒ අතරට පවතින අර්බුදකාරීන් ආර්ථික වට පිටාව තුල ඖෂධ ගෙන්වීමේ නැව් ගාස්තු පමණක් 30%කින්ද, නිෂ්පාදන අමුද්‍රව්‍ය තවත් 30% පමණද වැඩිවී ඇත.

ඒ අතරම ඩොලර් මිලදී ගැනීම සදහා 20%ක පමණ අමතර පිරිවැයක්ද, රුපියල අව ප්‍රමාණය වීම හේතුවෙන් තවත් 10%ක පමණ අමතර ගෙවීමක් ද වියදම් අතරට එකතු වී ඇත.

 

මේ තත්වය යටතේ කිසියම් සහහනයක් සමාගම් වෙත ලබා දීමට රජයේ අවධානය යොමු විය යුතු අතර, ඖෂධ මාෆියාවෙන් වැඩි ප්‍රමාණයකට වග කිව යුත්තේ නිළ අතරමැදියන්ට ලබා දීමට සිදුවී ඇති කොමිස් මුදල වන බැවින්, එය වලක්වා ගැනීම මගින්ද ඖෂධ සදහා 'එකතුකරන අගයන්' බොහොමයක් ඉවත් කරවා ගත හැකිය.

 

තිරසාර පිළියම : රට තුල ඖෂධ නිෂ්පාදනය සිදු කිරීමයි


මිල පාලනය කොතරම් ස්ථාවර ව සිදු කලද, මේ මොහොතේ ඇති කෘතිමව පාලනය කල ආර්ථික ක්‍රමය දීර්ගකාලීනව පවත්වා ගන්න බැහැ. කොයි මොහොතේ හෝ රුපියලේ අගය පා කිරීමට සිදු වූ මොහොතක, ඖෂධ මිල වැඩිවීමේ අර්බුදය වෙනත් විදිහකින් නැවත කරලියට එන එක වලක්වන්න බැහැ. ඒ සදහා රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා රටට ඇති හොදම විකල්පය හැකිතාක් රට තුල ඖෂධ නිෂ්පාදනය සිදු කිරීමයි.

රට තුල ඖෂධ නිෂ්පානය කිරීම මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වන අතරම, ඩොලර් හිඟයට ද එය පිළියමකි.

නිමි ඖෂධ එක් නැවක් ගෙන ඒමට දැරිය යුතු වියදමෙන්, ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය නැව් විස්සක ප්‍රමාණයක් ගෙන්විය හැකිය. නිමි ඖෂධ ගෙන්වීමේදී ඊට අදාල 'ශ්‍රම පිරි වැය' අප ගෙවිය යුත්තේ ඩොලර් වලින්. රටේ පුරවැසියෙකුගේ ආදායමක් ලෙස ඉතිරි කරගත හැකි එම ආදායම, රටේ  'විනිමය පරතරය'  වැඩි කරමින් ලෙස පිට රටට ඇදී යාමද සිදු වේ.

ඊට අමතරව රට තුල ඖෂධ නිෂ්පාදනය මගින් රැකියා අවස්ථා, ඖෂධ ආනයනය වැනි වාසිසහගත තත්වයන් රැසක් රටට හිමි වුවද, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරී මාෆියාව, දූෂිත තීරණ, අකාර්යක්ෂමතාවය, නුසුදුසු නිළධාරීන්ගේ නොහැකියාව හේතුවෙන් අප ඒ සදහා විශාල ප්‍රමාදයකට ලක්ව තිබෙනවා.

 

රට තුල ඖෂධ නිෂ්පාදනය සදහා සමාගම් 38ක් පමණ 2018 වර්ෂයේදී ගිවිසුම් ගත වෙලා තිබෙනවා. තවම නිෂ්පාදන ආරම්භ කර ඇත්තේ සමාගම් හතක් හෝ අටක් පමණයි.

 

ඖෂධ නියාමන අධිකාරිය විසින් හිතාමතාම හදන ඖෂධ එකාධිකාරිය සහ නියාමනයේ නමින් එන මාෆියාව මෙකී ප්‍රමාදයන්ට ප්‍රධාන හේතුවක්.

තමන් අකමැති සමාගම් වැලැක්වීම සදහා කෝදුරු තෙල් හත් පට්ටයකුත්, තවත් ටිකක් ඉල්ලන, ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය රට අමාරුවේ වැටී සිටින මෙවන් මොහොතක හෝ අර්බුදකාරී මොහොතක හෝ වෙනස් කරන්නේ නම්, තවත් සමාගම් ගණනාවක් හෙට දවසේ රට තුල ඖෂධ නිශ්පාදනයට එකතු කරවා ගත හැකිය.

එසේම පාවෙන පාලන මිල වෙනුවට ඖෂධ, ප්‍රතික්‍රියක, උපකරණ, රෝහල් ගාස්තු වැනි අංශ ගණනාවක් සඳහා ම සැබෑ පාලන මිලක් ස්ථාපිත කොට, සෞඛ්‍ය පිරිවැය ආරක්ෂා කර ගත හැකිය.


''ලෝකයේ කාටවත් නොවුණු අර්බුදයක් කට ලගටම ඇවිල්ලා''

 

මෑත ඉතිහාසයේ විශාලතම අර්බුද වලට මුහුණ දුන් රටවල් අතර ඉටියෝපියාව, සෝමාලියාව, උතුරු කොරියාව, යුක්‍රේණය වගේ රටවල් සැලකිය හැකිය. නමුත් ඒ කිසිදු රටකට ඖෂධ නොමැතිවීමේ අර්බුදයක් පැමිණියේ නැත.

 

ඖෂධ අන් කවර අවශ්‍යතාවයකටත් වඩා ප්‍රමුඛ ලෙස එම රටවල් සල්කා පූර්ව සැලසුම් යොදවා තිබීම ඊට හේතුවයි.

එහෙයින්, අපට කල හැකි කිසිවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජය තීරණය කර ඇත්තේනම්, තව දුරටත් ගැටළුව සඟවා තබා මගහැර සිටීම වෙනුවට, මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඖෂධ සදහා මානුෂීය ආධාර ලබා ගැනීමේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තබනන් ලෙස අවධාරණය කරමු.''

 

 

මහින්ද උස්සලා බැසිල්ව පොළොවෙ ගසයි! | අද ගොසිප් එක | The Leader TV

 

 

Leader Whats app

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා