ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ගුරු සේවයේ නිලධාරියකු

දේශපාලන උවමනාවන් මත අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරකට පත් කිරීමේ සුදානමකට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක විරෝධය පළ වී තිබේ.

ලංකා ගුරු සංගමය අනාවරණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා සංවර්ධන) තනතුර සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියකු වන අනිල් චන්ද්‍රසිරි වීරසිංහ පත් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතින බවයි.

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන අනිල් චන්ද්‍රසිරි වීරසිංහ මෙම තනතුරට පත් කිරීමට කටයුතු කිරීමෙන් මෙය දේශපාලන උවමනාවන් මත සිදු කරන කටයුත්තක් බව පැහැදිලියැයි සදහන් කරන ලංකා ගුරු සංගමය ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ බලවත් විරෝධය පළ කර තිබේ.



ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා සංවර්ධන) තනතුර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ අනුමත සේවක සංඛ්‍යාවට අයත් තනතුරක් බවයි.



"ඒ සඳහා සුදුසුකම්  ලැබූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සිටියදී ශ්‍රී ලංකා ගුරු සේවයේ 1 පන්තියේ නිලධාරියෙකු මෙම තනතුරට පත් කිරීම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි."

අනිල් චන්ද්‍රසිරි වීරසිංහ අදාල තනතුරට පත් කිරීමට යෝජිත කැබිනට් පත්‍රිකාවේ ඇති තොරතුරු සම්බන්ධයෙන්ද ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා ප්‍රශ්න කර සිටි.

"යෝජිත කැබිනට් පත්‍රිකාවේ මෙම පුද්ගලයාගේ නම සඳහන් කරමින් ඔහු ගුරු සේවයේ බව ද පිළිගෙන ඇත. මෙම පුද්ගලයාට ඇති සුවිශේෂත්වය කුමක් ද? එය දේශපාලනය පමණි. යෝජිත කැබිනට් පත්‍රිකාවේ අංක 2 හි දක්වා ඇත්තේ අනිල් චන්ද්‍රසිරි වීරසිංහ මහතාට ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 32 ක පළපුරුද්දක් ඇති බවත්, ඔහු දක්ෂ පළපුදුරු නිලධාරියෙකු බව ඔහුගේ ජීව දත්ත විස්තරවලින් මනාව පැහැදිලි වන බවත්ය. "

එසේ යෝජිත කැබිනට් පත්‍රිකාවේ ඔහුගේ ජීව දත්ත පමණක් සඳහන් කරන්නේ ක්ෂේත්‍රයේ සිටින අනෙකුත් නිලධාරීන්ගේ ජීව දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ද යන්න සිය නිවේදනය මගින් ලංකා ගුරු සංගමය වැඩි දුරටත් ප්‍රශ්න කරයි.



මේ ආකාරයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ගුරු සේවයේ නිලධාරීන් දේශපාලන උවමනාවන් මත අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට පත් කිරීම අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය කිරීමක් බවයි ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා වැඩි දුරටත් පවසන්නේ.



මීට පෙර පසුගිය රජය සමයේ ද මෙම තනතුර සඳහා සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අනීතික ලෙස කර්නල් මංජුල කාරියවසම් නමැති අයෙකු පත් කිරීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා ලංකා ගුරු සංගමය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු අංශවල විරෝධය පළ කිරීම හමුවේ එම  නිලධාරියා එම තනතුරෙන් ඉවත් කළ ආකාරයත් ලංකා ගුරු සංගමය සිය නිවේදනයේ සදහන් කර තිබේ.

මෙම අනීතික පත්වීම නතර කරන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කර ඇති අතර, මෙවැනි අනීතික පත්වීමක් සිදු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කරන බව ද  ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

  

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්