අපකීර්තියට ලක්වී සිටින ආණ්ඩුවට එල්ලවී තිබෙන දෙස් විදෙස් බලපෑම්වලින් ගැලවීමට

දෙමළ මන්ත්‍රීවරුන් යොදා ගන්නා අරමුණින් ජනාධිපතිවරයා ඇරයුම් කර ඇති සාකච්ජාව වර්ජනය කරන්නැයි උතුරේ දේශපාලන නායකයකු ඉල්ලීමක් කර තිබේ.

දෙවරක්ම අවසන් මොහොතේ කල් දැමුණු දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපතිවරයා අතර සාකච්ජා මාර්තු 15 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මාධ්‍ය වෙත දන්වා තිබිණි.

එම දැනුම්දීම කෙරුනේ ඉන්දීය අගමැතිවරයා මේ මස අගදී යාපනයටත්, කොළඹටත් ඒමට නියමිතව තිබියදීය.

''දැන් ආණ්ඩුව රට ඇතුලෙත් ජාත්‍යන්තරවත් පසුබෑමට ලක් වෙලා ඉන්නේ. ඒකෙන් ගැලවෙන්න තමයි මේ විදිහට සාකච්ජා කරන්න එන්න කියා ඇරයුම් කරලා තියෙන්නේ. ආණ්ඩුව හදන්නේ දෙමළ ජාතික සන්ධානය ඉත්තෝ හැටියට පාවිච්චි කරන්න. ඒ නිසා අපි කියන්නේ මේ සාකච්ජාවට යන්න එපා කියලා,'' යැයි දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන හවුල්කාර පාර්ශවයක් වන තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලෙයිනාදන් පවසයි.


මෝඩි පිළිගන්න මහින්ද උතුරට 


යෝජිත සාකච්ඡාවෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා 18 දා යාපනයට යන බව කොළඹින් පලකෙරන ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන් අනතුරුව කලාපීය සමුළුවකට සහභාගී වීම සඳහා පලාලි ගුවන් තොටුපලින් දිවයිනට ගොඩබසින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ එරට විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයිශන්කර් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා මේ මස අගදීද උතුරට යාමට නියමිතය.



සුළුතර ජන ප්‍රජාවන්ට ඇහුම්කන් නොදෙන ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමෙන් කිසිදු යහපතක් නොවන බව පෙන්වා දෙමින් ටෙලෝ නායක අඩෙයික්කලනාදන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් වෙත ලිපියක් යොමු කර ඇත.



''ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිධුරයේ වැඩ බාර ගන්න කොට කිව්වේ එයාව තෝරා පත් කර ගත්තේ සිංහල බෞද්ධ ජනතාව නිසා ඔවුන්ගේ අදහස් හා දේශපාලන අභිලාෂයන්ට මුල් තැන දෙනවා කියලා. ඒ විදිහටමයි එයා වැඩ කරගෙන යන්නේ.''

''ආණ්ඩුවේ නොයෙකුත් දෙපාර්තුමේන්තු හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ජන සංයුතිය වෙනස් කරන්න සිංහල මිනිස්සු පදිංචි කරනවා. මොනම කාලෙකදිවත් මේ විදිහට වුනේ නැහැ. මේ ඉඩම් ප්‍රශ්නය ගැන අපි කෙතරම් කථා කරලා, උද්ඝෝෂණය කරලා ඇද්ද? ඒවායෙන් පලක් වෙලා තියෙනවා ද?'' ටෙලෝ නායකයා ප්‍රශ්න කරයි.



දෙමළ ජනයා බහුතරය වෙසෙන උතුරු නැගෙනහිර පළාත් වල ජනතාව සතු ඉඩම් ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කරන ලෙස දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් ජනාධිපතිවරයාට ලියු ලිපියට වසර දෙකක් ගත වුවද පිළිතුරු ලැබී නොමැත.



ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියලු දෙමළ දේශපාලන පක්‍ෂ මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ගොස් පසුගිය දා උද්ඝෝෂණය කළහ.   

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයික්කලනාදන්, දෙමළ ජාතික සන්ධාන නායකයාට පෙන්වා දෙන්නේ "ලංකාවේ පුරවැසියන් කවුරු වුවද ඔවුන්ට තමන්ගේම කියා බිම් අඟලක් හෝ ලබා දීම ඕනෑම ආණ්ඩුවක වගකීමක් වුවත්, ඒ ගැන අවධානය යොමු කරලා වැඩ කරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ එක්ක කතා කරා කියා කිසිදු පලක් නොවන," බවයි.

දෙමළ ජනතාව විඳින පීඩාවෙන් මුදාගැනීම සඳහා බලය බෙදා දේශපාලන විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරන මෙන් TNA ඉන්දීය අගමැතිවරයාගෙන් මේ වනවිට ලිඛිත ඉල්ලීමක් කර තිබේ.


සබැඳි පුවත් :

මෝඩි එන්න ලං වෙද්දී ජනපතිට දෙමළ පක්ෂ සමග කතාවට සැරසෙයි  

දෙමළ මන්ත්‍රීවරුන් මගහැරියේ 'සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් ජනාධිපති'

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්