රුසියාව සහ යුක්රේනය අතර දැනට පවතින යුදමය වාතාවරණය නිසා එම රටවලට තේ අපනයනය කිරීම

සම්පූර්ණයෙන් නතර කළ බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ හිටපු සභාපති, සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ද වන ජයන්ත කරුණාරත්න ප්‍රකාශ කළේ, රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීමෙන් මුදල් ලබාගැනීම සම්බන්ධව ගැටලුසහගත තත්ත්වයක් මතුවීමත්, අදාල නැව් සමාගම් තේ අපනයනය ප්‍රතික්ෂේප කිරීමත් නිසා මෙලෙස තේ අපනයන කටයුතු නතර කර ඇති බව යි.

එම රටවල දැනට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් වෙනත් අසල්වැසි රටක් හරහා ශ්‍රී ලංකා තේ සඳහා මුදල් ලබා ගැනීමට මින් පෙර සැලසුම් කෙරුන ද, රුසියාවේ බැංකු පද්ධතිය සමග ගණුදෙනු සිදු නොකරන ලෙස යුරෝපිය හා බටහිර රටවලට මූල්‍යමය මෙන්ම ආර්ථික සම්බාධක පැනවීම නිසා මෙම තත්ත්වය මතුව තිබේ.


ශ්‍රී ලංකාවේ තේ ලබාගන්නා තෙවැනි විශාලම ගැනුම්කරුවා රුසියාවයි

ශ්‍රී ලංකාවේ තේ ලබාගන්නා තෙවැනි විශාලම ගැනුම්කරුවා වන්නේ රුසියාවයි. ඒ 2021 වසරේ තේ කිලෝග්‍රෑම් මිලියන 27ක ප්‍රමාණයක් රුසියාවට අපනයනය කිරීම නිසා, යුක්රේනයට 2021 වසරේ තේ කිලෝග්‍රෑම් මිලියන හතරක ප්‍රමාණයක් අපනයනය කර ඇත. 2021 වසරේ සමස්ත තේ අපනයනයන කිලෝග්‍රෑම් මිලියන 299 කි.


 123677401 gettyimages 1380633556.jpgයුක්රේනයේ කියෙව්හි නැගෙනහිර පෙරමුණට ආසන්නයේ පළාත්බද ආරක්ෂක ඒකකයක් විසින් ආරක්ෂා කෙරෙන බාධකයක තේ පිළියෙළ වෙයි. (ඡායා.-GETTY IMAGES)

මේ නිසා එම රටවලට තේ අපනයනය කරන අපනයනකරුවන් උග්‍ර මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතිබවත්, දැනට සුදානම් කර ඇති තේ තොග අපනයනය සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට සිදුව ඇති බවත් ජයන්ත කරුණාරත්න සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ ප්‍රකාශ කළේ රුසියාවට අපනයනය කෙරෙන තේ සඳහා මුදල් ලබා ගැනීමට බැංකු කිහිපයක් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට හඳුන්වා දී ඇති අතර, එම බැංකු හරහා ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට හැකියාව පවතින බව යි.



එහෙත් කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසන ආකාරයට මුදල් ගෙන්වා ගැනීමේ අවදානමක් පවතින නිසා එම ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරන බව යි. මේ නිසා ඇමරිකානු ඩොලර් මිලියන 50කට ආසන්න විදේශ විනිමයක් රටට මේ වන විට අහිමිවී ගොස් ඇති බව ඔහු පවසයි.



රුසියාවට ශ්‍රී ලංකා තේ අපනයනය තුළින් 2021 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 150ක ආදායමක් මෙරටට ප්‍රේෂණය කරන අතර යුක්රේනයට තේ අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22ක් උපයා ඇත. 2021 වසරේ ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ඇති අතර එය පෙර වසර ට සාපේක්ෂව සියයට 6.7ක වැඩිවීමකි.

තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මතුවී ඇති තත්ත්වය හමුවේ තේ අපනයන කරුවන් යම් යම් බාධාවන්ට මුහුණ දී ඇති බවත් තේ මණ්ඩලයේ මේ වන විට එම ගැටළු වලට විසදුම් සොයමින් සිටින බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ ඉරානයට ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක පනවා ඇතත් ශ්‍රී ලංකාවේ තේ අපනයන කරුවන් යම් යම් ක්‍රමවේදයන් හරහා ඉරානයට මේ වන විටත් තේ අපනයනය කරන අයුරින්ම මෙම කලාපයටත් තේ අපනයනය කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.



'සම්බාධක' යනු මොනවා ද?

සම්බාධක යනු, ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කිරීම හෝ ජාත්‍යන්තර නීතිය කඩ කිරීම වැනි අතික්‍රමණයන් නැවැත්වීම සඳහා එක් රටක් තවත් රටකට පනවන දඬුවම් ක්‍රමයකි.

මේවා, යුද්ධයට යාම හැරුණුකොට ලෝක ජාතීන්ට ගත හැකි දැඩිම ක්‍රියාමාර්ග අතර වේ.



රුසියාවට පනවා ඇති සම්බාධක මොනවා ද?

තෙල් සහ ගෑස්:

එක්සත් ජනපදය රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය තහනම් කරන අතර, එක්සත් රාජධානිය 2022 අවසන් වන විට රුසියානු තෙල් භාවිතාවෙන් ඉවත්වනු ඇත.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ එය "රුසියානු ආර්ථිකයේ මහා ධමනිය" ඉලක්ක කරන බව යි.

සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් ද, ගෑස් අවශ්‍යතාවයෙන් 40%ක් ද රුසියාවෙන් ලබා ගන්නා යුරෝපා සංගමය පවසන්නේ, තමන් විකල්ප සැපයුම් වෙත මාරුවන බව යි. "2030ට පෙර" යුරෝපය රුසියානු බලශක්තියෙන් ස්වාධීන කරන බව ද ඔවුන් ප්‍රකාශ කරයි.

රුසියාවේ සිට නෝර්ඩ් ස්ට්‍රීම් 2 ගෑස් නල මාර්ගය විවෘත කිරීම සඳහා අවසර ලබා දීම ජර්මනිය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.


මූල්‍යමය සම්බාධක:

බටහිර රටවල්, රුසියාව සිය මහ බැංකුවේ ඇති ඩොලර් බිලියන 630ක සංචිත භාවිතා කිරීම වැලැක්වීම සඳහා එහි වත්කම් අත්හිටුවා ඇත. එයට එරෙහි වෙනත් ක්‍රියාමාර්ග අතර:

# "මහ බැංකු සඳහා මහ බැංකුව" වන ජාත්‍යන්තර බේරුම්කරණ බැංකුවෙන් රුසියාව එහි සේවාවන් භාවිතා කිරීම නවත්වා ඇත.

# එක්සත් ජනපදය, යුරෝපා සංගමය, සහ එක්සත් රාජධානිය මිනිසුන් සහ ව්‍යාපාරයන්ට රුසියාව හා ගනුදෙනු කිරීම තහනම් කර ඇත

# ඇතැම් රුසියානු බැංකු රට රටවල් හරහා මුදල් මාරු කිරීම සඳහා භාවිතා කරන ජාත්‍යන්තර මූල්‍ය පණිවුඩකරණ පද්ධතිය වන 'ස්විෆ්ට්' වෙතින් ඉවත් කරනු ලැබේ. මෙය බලශක්ති අපනයන සඳහා රුසියාව ලැබිය යුතු ගෙවීම් ප්‍රමාද කරනු ඇත.



රුසියාව සමග වෙළඳාම සහ සංචාරය:

එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, එක්සත් ජනපදය, සහ තවත් පිරිස් විසින් රුසියාවට නිෂ්පාදන යැවීමේ සීමා කිරීම් ප්‍රකාශයට පත්කර ඇත.

මේවාට ද්විත්ව භාවිතා භාණ්ඩ - එනම්, රසායනික ද්‍රව්‍ය සහ ලේසර් ඇතුළු සිවිල් සහ හමුදා යන දෙයාකාරයේම භාවිතාවන් තිබිය හැකි අයිතම - ද ඇතුළත් වේ.

යුරෝපා සංගමයට අවශ්‍යව ඇත්තේ රුසියාවට තම තෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමට නොහැකි තත්ත්වයකට පත් කිරීම යි. රුසියානු ගුවන් සමාගම්වලට ගුවන් යානා සහ උපකරණ විකිණීම ද තහනම් කර තිබේ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, සහ කැනේඩියානු ගුවන් සීමාවන්ගෙන් සියලුම රුසියානු ගුවන් ගමන් තහනම්කර ඇත. එක්සත් රාජධානිය රුසියානුවන් විසින් කුලියට ගත් පුද්ගලික ජෙට් යානා ද තහනම්කර ඇත.

(BBC සිංහල සේවය)

 

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්