වසංගතයෙන් ආතුර වී මියයන්නන්ගේ සිරුරු වලදැමීම සම්බන්ධයෙන් පනවා තිබූ අත්තනෝමතික තහංචියක් ආණ්ඩුව විසින් ඉවත් කරගැනීමෙන් පසු,

කෝවිඩ් වැළඳී මියගිය මුස්ලිම්වරයකු මුල්ම වතාවට කොළඹදී භූමදානය කර තිබේ.

දෙස් විදෙස් විවේචන නොතකා අවුරුද්දක් තිස්සේ බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය සියලු කෝවිඩ් මළ සිරුරු පිළිස්සීමේ ප්‍රතිපත්තිය 2021 මාර්තුවේ දී වෙනස් කළ ආණ්ඩුව මඩකලපුවේ, ඕට්ටමාවඩියේ මජ්මා නගර් හි  මුස්ලිම්වරුන් විසින් පරිත්‍යාග කරන ලද භුමියක පමණක් මෘතදේහ භුමදාන කරන ලෙස සීමා පැනවුයේය.

 

එම තහංචිය ඉවත් කරගන්නා ලද්දේ එයින් හරියටම අවුරුද්දකට පසුවය. ඒ අනුව වසංගතයෙන් මියගිය සමීපතමයකුගේ දේහය ඉස්ලාම් භක්තිකයන් පිරිසක් විසින් ඕට්ටමාවඩියෙන් පිටතදී පළමුවරට භුමදානය කරන ලද්දේ මාර්තු 13 දා මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදීය.

 

ඕට්ටමාවඩි සුසාන භූමියේ මළ සිරුරක් අවසානයට මිහිදන් කරන ලද්දේ මාර්තු 4 දාය. අවුරුද්දක කාලය තුල එහි භූමදානය කරන ලද මළවුන් සංඛ්‍යාව 3634 කි. එයින් බහුතරය 2992ක් වන මුස්ලිම්වරුන් වුවත්, බෞද්ධයන් 287 දෙනකුද එහි වල දමා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් අන්වර් හම්දානි විසින් නිකුත් කොට ඇති නිල සංඛ්‍යාලේඛන අනුව පිරිමි 2225 ක්ද, ගැහැණු 1409 ක් ද වන ඕට්ටමාවඩි සුසානයේ සැතපෙන්නන් අතර හින්දුන් 270 ක් සහ කිතුනුවන් 85ක් ද වෙති.

 

මුස්ලිම් ක්‍රියාධරයන් විසින් ගණන් බලා ඇති පරිදි ඉස්ලාම් වත් පිළිවෙත් අනුගමනය කරමින් මිහිදන් කිරීමට අවසර නොදී බලහත්කාරයෙන් පුළුස්සා දමන ලද කෝවිඩ් මළ සිරුරු සංඛ්‍යාව 300 ඉක්මවයි. ඉපදී දින 20 කින් මරුමුවට පත් ළදරු ෂෙයික් ඒ අතර වෙයි.

 

හඬා වැලපෙන දෙමාපියන්ගේ ආයාචනා නොතකා ඒ ළදරුවා බලහත්කාරයෙන් ආදාහනය කිරීම සංවේදී බොහෝ දෙනා කම්පා කළ අපරාධයක් වුවත් ආණ්ඩුව ඇතුළු දැඩි මතධාරීන් මෙන්ම බහුතරයක් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යද එය අනුමත කරනු දක්නට ලැබිණි.

 

 කොවිඩ් 19  ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් 2020 දෙසැම්බර් 13  සවස කොළඹ බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට 'සැබෑ දේශප්‍රේමියෝ' සංවිධානය නියෝජනය කරමින් දිවංගත මංගල සමරවීර ද එක්ව සිටියේය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට හරස්ව යමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් 2020 ආරම්භයේ පටන් නියම කර තිබුනේ කෝවිඩ් මළ සිරුරු ආදාහනය කරන ලෙසයි.

එය යුක්ති සහගත කිරීමට ආණ්ඩුව විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක මතය වූයේ කෝවිඩ් ආසාදිත මළ සිරුරු භුමදාන කිරීමෙන් භූගත ජලධාරා කෙලෙසෙන බවයි. එය පදනම් විරහිත අවිද්‍යාත්මක අභුතයක් සේ ලොව ප්‍රකට වයිරස් විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් ඇතුළු විද්වතුන් විසින් බැහැර කරනු ලැබුවද ආණ්ඩුව එය කිසිසේත් මායිම් කළේ නැත.

කොරෝනාබාධිතව මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් ජාතිවාදී ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් සංවිධානවල ගර්හාවට ලක්වුණි.

 

කෝවිඩ් 19 ආසාදිතව මළවුන්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජනවාර්ගිකත්වය කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් විසින් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

 

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව දියත් කෙරුණු පළමු දැවැන්ත මහජන උද්ඝෝෂණය වන දෙමළ දේශපාලන නායකත්වයෙන් 2021 පෙබරවාරි මුල දින පහක් තිස්සේ කිලෝමීටර් 700ක් දුර ගමන් කළ P2P නමින් ප්‍රකට පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ පාද යාත්‍රාවේ දී මුස්ලිමුන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව ඉහළින්ම විරෝධය පලවිය.

ඉන් දින කීපයක් ඇවෑමෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොරෝනාබාධිත මළ සිරුරු ඕට්ටමාවඩි සුසානයේ පමණක් භූමදානයට රජය හේතු දැක්වීමකින් තොරවම අවසර දුන්නේය.


හේතුව එළිවූයේ ජිනීවා නුවරිනි.


යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වගකීම  විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 2021 මාර්තු 23 දා ගෙන එනු ලැබූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මගින් පකිස්තානය සිය කෘතවේදීත්වය පල කළේ දිවයිනේ මුස්ලිම්වරුන් එපා කියද්දීය.  

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන ජාත්‍යන්තර පරීක්ෂාවට ලක් කිරීමට එරෙහිව ජගත් මානව හිමිකම් සමුළුවේදී පකිස්තානය පෙනී සිටීම රජයේ වගඋත්තරකාරිත්වය ඉල්ලා කෙරෙන දෙමළ ප්‍රජාවගේ සුජාත අරගලයට හානි පැමිණවීමක් බව මුස්ලිම් වාමාංශික පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයක් අගමැති ඉම්රාන් ඛාන් දිවයිනේ සිටියදී යොමු කළ සංදේශයකින් පෙන්වා දී තිබුණි.

කොරෝනාබාධිත මුස්ලිම් දේහ ඕට්ටමාවඩි සුසාන භූමියෙන් පිටතදීත් මිහිදන් කිරීමේ අවසරය රජය විසින් දැන් ප්‍රකාශයට පත් කර ඇත්තේත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවා නුවර රැස්වෙමින් සිටියදීය.

 

අවිද්‍යාත්මක පදනමක පිහිටා පවත්වාගෙන යනු ලැබූ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තියෙන් මහත් දුකට හෙලනු ලැබූ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට කවර සහනයක් සලසන්නේද යන්න ආණ්ඩුව තවමත් ප්‍රකාශයට පත් කර නැත.

 

(Ottamavaddi ඡායාරූපයේ ඇත්තේ ඕට්ටමාවඩි සුසාන භුමියට අවසන් දේහය ගෙනා රථය ආපස්ය් යන ආකාරයයි. සේයා: අමලිනී ද සේරා)

signal 2022 03 14 122145 009buriels s

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්