රටේ ජන ජීවිතය යථාතත්ත්වයට පත්කර, බිඳ වැටුණු විදේශ සම්පත් ශක්තිමත් කර, රටට ආර්ථික ස්ථාවර භාවය ලබා දීම සඳහා සියලු දෙනා වහාම පොදු
එකඟතාවයකට ආ යුතු බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසුරිය අවධාරණය කර සිටියි.
පාර්ලිමේන්තුවේ පක්ෂ එකොළහක් රට ගොඩනැගීමට ඉදිරිපත් කළ යෝජනාවලිය රජය විසින් පිළිගෙන වට වටමේස සාකච්ඡාවක් ලඟදීම පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව සතුට පලකරන කරු ජයසුරිය, එය සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කර සිටියි.
හිටපු කතානායක කරු ජයසුරිය එබව කියා සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයත්, ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන ජාතික ව්‍යාපාරයත්, එක්ව සංවිධානය කළ "යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේ දී ය.
කරු ජයසූරිය හිටපු කතානායකවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
රට අවදි කිරීමට .....
අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් ගේ මූලිකත්වයෙන් බිහිවුණු "සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය" ත් රට තුළ ජාති ආගම් භේදයෙන් තොර එක්සත් සමාජයක් බිහිකිරීම සඳහා ගොඩනැගුණු "ආගමික හා ජාතික සංහිඳියාව සඳහා වූ සඳහාවූ එකමුතුව" ත් සමඟ අප ඉටු කරනුයේ වැදගත් ජාතික යුතුකමක්.
ඒ වෙනුවෙන්, ජනතා ආශිර්වාදයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රදේශ වල සංචාරය කරමින් රට අවදි කිරීමට අපි වෙහෙසෙමු. රටේ වර්තමාන තත්ත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. ජනතාව අද සෑම අතින්ම මහත් පීඩනයකට මුහුණ දෙමින් සිටී.
''මිනියක් එම්බාම් කරන්න ෆෝමලින්' පවා නැ''
මරණයක් සිදු වූ විට එම්බාම් කිරීම සඳහා "ෆෝමලින්" නැත. ආදාහනාගාර ක්‍රියා කරවීමට ගෑස් නැත. මේ සඳහන් කලේ අපි අසන දකින කරුණුයි.
රටක් මේ ආකාරයට කොයි තරම් දුර යා හැකිද? මේ ජනතාව අසන ප්‍රශ්නයි. එයට විසඳුම මොකක්ද? අප උත්සාහ කරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමට හෝ රජය පෙරළීමට හෝ මහජනතාව උසි ගැන්වීමට නොවේ. මුළු රටම එක්ව මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සෙවීම සඳහායි.
පාර්ලිමේන්තුවේ පක්ෂ එකොළහක් රට ගොඩනැගීමට ඉදිරිපත් කළ යෝජනාවලිය රජය විසින් පිළිගෙන වට වටමේස සාකච්ඡාවක් ලඟදීම පැවැත්වීමට කටයුතු කිරීම ගැන අපි අතිශයින් සතුටු වෙමු. එය සාර්ථක වේවායි ඉත සිතින් පතමු.
මෙහිදී සෑම පාර්ශවයක්ම පටු දේශපාලනයෙන් බැහැර ව එකිනෙකාට අවංකව රට වෙනුවෙන් කැපවිය යුතුයි.
20 වැනි සංශෝධනය බලපවත්නා තෙක් ඒ විශ්වාසය කිසිදා ගොඩනැගිය හැකි නොවේ. එහෙයින් එය බලරහිත කොට රජයට තමන්ගේ අවංකභාවය පෙන්විය හැකියි.
උපාලි අබේරත්න කොමිසම හරහා විරුද්ධ දේශපාලන මතධාරීන් දඩයම් කිරීම වහා අත්හිටුවන්න. ස්වාධීන කොමිෂන් සභා නිර්දේශපාලනයට යටත් කරන්න. දැනට මේ ආයතන පූර්ණ දේශපාලනීකරණයට යටත් වී තිබෙනවා.
සියලු පුරවැසියන්ට ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් වහා දියත් කළ යුතුයි. මෙහිදී ජනාධිපති ලබාදුන් පොරොන්දු කාලය බොහෝ පසු වී ඇත. කල් නොයවා රජයේ යෝජනා මහජනතාව වෙත ඉදිරිපත් කර රටේත්, පාර්ලිමේන්තුවේත්, අවධානයට යොමු කරන්න.
ජාත්‍යන්තරයේ අප මිතුරනට වඩා සතුරන් ඇති කර ගෙන ..
ජාත්‍යන්තරයේ අප මිතුරනට වඩා සතුරන් ඇති කර ගෙන ඇත. වර්තමානය වැනි ජනතාව පීඩනයට පත්ව ඇති යුගයක අපට ලෝකයේ ගෞරවය හා විශ්වාසය උපයා ගත යුතුව තිබේ. එය රටේ අනාගත සුබසිද්ධිය උදෙසා අත්‍යවශ්‍යම කරුණකි.
අවස්ථානුකූලව රට බේරාගැනීම සඳහා අපගේ පූර්ණ ශක්තිය හා කැපවීම ජනතාවට ලබා දෙන බව මේ පුණ්‍ය භූමියේ සිට සඳහන් කරන්නට කැමතියි.''