දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය,

විදුලි කප්පාදුව  ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත  විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් කොළඹ දී අද (15) පස්වරුවේ පැවැත්විණි.

“රට විනාශයි දැන් ඇති තවත් වනසන්න දෙන්න බැහැ එක්වෙමු කොළඹට” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවය ඇරඹුණේ අද පස්වරු දෙකට පමණය.

විරෝධතාව සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් අද පස්වරුවේ කොළඹ නගරයේ ගමනා ගමන කටයුතුද මුලුමනින්ම පාහේ ඇන හිට තිබිණ.

කොළඹ පී.ඩී සිරිසේන ක්‍රිඩාංගනය සහ පුස්තකාල වට රවුම අසලට පස්වරු 2.00 ට පමණ රැස්වූ විරෝධතාකරුවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

කොළඹ පී.ඩී සිරිසේන ක්‍රිඩාංගනය අසලට රැස්වූ විරෝධතාකරුවන් පංචිකාවත්ත, ටෙක්නිකල් හන්දිය ,මරදාන කොළඹ කොටුව ලොටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර අනෙක් පිරිස කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසල සිට  විරෝධතා පා ගමනින් ධර්මපාල මාවත, පිත්තල හන්දිය, කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් ගාලු පාරට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට  ගමන් කරනු ලැබීය.


රැළි දෙකම ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී

රැළි දෙකම ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී එක්වූ අතර එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් විරෝධතා රැලිය පවත්වනු ලැබීය.

විරෝධතාවයට පස්වරු 3.00 ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර  යන මහත්වරුන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වූ අතර එතැන් සිට පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතා පාගමනේ නිරත වූහ.

“රට විනාශයි දැන් ඇති, ජනතාවට විනාසේ ආණ්ඩුව සිනාසේ, ජනතාව ගින්දරේ ආණ්ඩුව මන්දිරේ, ජනතාව කලුවරේ ආණ්ඩුව සුරපුරේ, ජනතාවට ඇපත් නෑ ආන්ඩුවට වගක් නෑ, රට වලපල්ලට ගොවියා මහපාරට, උන්ට සැප රථ ගොවින්ට ඇප නැත, පිස්සො රජවෙලා වැසියෝ නැතිවෙලා, වැඩබැරිනම් ගෙදර යන්න, සෞභාග්‍යයේ දැක්ම කොහොමද?, දැන් සැපද, බෙහෙත් නෑ, හාල් මිල සැපද, සිමෙන්ති මිල සැපද, ආදී විරෝධතාපුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතා පා ගමන නිරත වූහ.


“ගෝඨා ගෙදර පළ”

විරෝධතාකරුවන් “ගෝඨා ගෙදර පළ” යනුවෙන් සඳහන් කලු පටි පැළඳ විරෝධතාවේ නිරතවීම විශේෂත්වයකි.

“මොළ හතාගේ ආර්ථිකය” සඳහන් මිනීපෙට්ටි කිහිපයක්, මල්වඩම්, හිස් පිගන්, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අනුරෑප, ගෑස් ටැංකි, හාල් උර, ආදිය ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.

විරෝධතාව අතරතුර පන්දම් දල්වමින් දුම්මල ගසමින් ආණ්ඩුව පලවා හැරීමට යාග පවතිවමින් විරෝදතාකරුවෝ පැමිණියහ.

විරෝධතාවය සඳහා විශාල පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුනේය.

මාර්ග දෙක ඔස්සේ පැමිනි පෙළපාලිකරුවන් එකට එකතු වී ජනතා ප්‍රශ්ණ  පැවසීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලට යාමට උත්සාහ කළ අතර පොලිස් විශේෂ කාර්යාලය ඇතුලු ආරක්ෂකයන් යොදවා ඔවුන් වැළැක්වීමට ක්‍රියාකිරීම නිසා අතිශය උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තේය.

පෙළපාලියෙන් ගෙන ආ මිනිපෙට්ටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහපාරේ ගිනි තබනු ලැබිය. මිනීපෙට්ටි ගිනිතැබිම නිසා ඉන් නික්මුනු කලු දුම්රොටු වලින් ජනාධිපති ලේකම් කාර්යාලය අවට ප්‍රදේශය වැසි යන ආකාරයද දැක ගන්නට ලැබිණ.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩි මාෂල් සරත් ෆොන්සේකා,  ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාන්ඩාගාරික හර්ෂ ද සිල්වා, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර, සමගි ජන බලවේගය පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න, පී දිගම්බරම්, රවුෆ් හකීම්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන,  මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා, සුජිත් සංජය පෙරේරා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, සිවිල් සංවිධාන, ඇතුළු සංවිධාන රැසක නියෝජිතයෝ මේ සදහා එක්ව සිටියහ.

(ඡායාරුප : ලංකාදීප -ජයමාල් චන්ද්‍රසිරි සහ ගයාන් අමරසේකර)

sjb 4

sjb 2

sjb 1

sjb 5

sjb 3

 

  

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්