ජනාධිපතිවරයා සාකච්ජාවට ඇරයුම් කළ ද, දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ තම දේශපාලනය ඔහුගේ වාසියට යොදා ගත නොහැකි

බව දෙමළ ජාතික සන්ධානය සහතික වී තිබේ.

''සාකච්ජාවට දොර අරින කොට අපිට ඒක අත් හරින්න බැහැ. දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීමේ ප්‍රතිපත්තිගරුක අරගලයක ඉන්න අපිව ජනාධිපතිගේ වාසියට යොදා ගන්න බැහැ,'' යි දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ හවුල් කාර පාර්ශවයක් වන තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලෙයිනාදන්, සම්බන්ධන් මන්ත්‍රීවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුනේ රාජපක්‍ෂ ආණ්ඩුව රට තුලත්, ජාත්‍යන්තරවත් පසුබෑමට ලක්ව සිටින බැවින් ඉන් ගැලවීම වෙනුවෙන් සාකච්ජාවට ඇරයුම් කර ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානය තම ඉත්තන් ලෙස පාවිච්චි කිරීම ජනාධිපතිගේ වෑයම බැවින් ඊට සහභාගී නොවන ලෙස  ඔහු ඉල්ලා  තිබුණි.

මේ ගැන 'වීරකේසරී' පුවත් පත  දෙමළ ජාතික සන්ධාන නායකයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ටෙලෝ නායකයාගේ ලිපිය මගින් ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීම වැරදි ක්‍රියාවක් ලෙස දක්වා නොමැති බවය.

''ජනාධිපතිවරයා මේ මොහොතේ කැඳවා ඇති රැස්වීම ගැන එයාට ඇති අවිශ්වාසය මගේ අවධානයට යොමු කරලා තියෙනවා. මම ටෙලෝ නායකයා එක්ක කතා කරා. කොහොමත් අපි තීන්දු කරලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානෙට අයත් පක්‍ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැම දෙනාම ජනාධිපති සමග සාකච්ජාවට සහභාගිවෙන්න.''

දැනට තුන් වතාවක්ම ජනාධිපති හා ටී.එන්.ඒ. අතර සාකච්ජා වලට කාල වේලා යොදා ගෙන තිබුන ද අවසන් මොහොතේදී අවලංගු කෙරිණි.

අවසාන වතාවට දින යොදා ගෙන තිබුණු සාකච්ඡාව කල් දැමීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කිසිවක් නොකීවද, දෙමළ ජාතික සන්ධානය ඊට හේතු දක්වා තිබුණි.

 

මාර්තු 15 දා සාකච්ජාව මාර්තු 25 දක්වා කල් දැමුනේ සමගි ජන බලවේගයේ විරෝධතා කරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වටලෑමේ උද්ඝෝෂණය නිසා බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මාධ්‍ය වෙත කියා තිබුණි.

 

තමිල් ඊළාම් විමුක්ති සංවිධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විනෝ නෝහරාදලිංගම් වවුනියාවේ පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් කියා සිටියේ ජනාධිපති සමඟ සාකච්ජාවට යා යුත්තේ කොන්දේසි සහිතව බවයි.

සිංහල බෞද්ධ ස්ථාවරයේ සිට ආණ්ඩුව සම්පාදනය කරන අලුත් ව්‍යවස්ථාවට තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළත්, ජාතික ප්‍රශ්නයට විසදුමක් ගැන කතා නොකරන ජනාධිපති එක් රටක් එක් නීතියක් කියා වෙනත් වැඩ කරමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට චෝදනා කර තිබේ.

''ජනාධිපතිවරයා සාකච්ජාවට ඇරයුම් කළත්, මොනවා ගැන කතා කරන්න යනවා ද කියා අපිටත් ගැටළුවක්.''


ඉල්ලීම් මොනවාද


මේ අතර දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අතර පැවැත්වීමට නියමිත පළමු සාකච්ජාව මෙය වුවත්, කතා බහ කෙරෙන කරුණු ගැන මෙතක් ජනාධිපති පාර්ශවයෙන් දන්වා නොමැති බව ආර්. සම්බන්ධන් පවසයි.

''අපි අපේ සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරනවා. කතා කරන්න ඇරලා තියෙන දොර අපි පාවිච්චි කරන්න ඕනෑ. අපි අපේ ස්ථාවරයන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරයට දැනටමත් ගෙනිහින් තියෙනවා.''

දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසදුමක්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම, බලහත්කාරයෙන් අතුරුදහන්කළවුන් වෙනුවෙන් යුක්තිය පසිඳලීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිංහල ජනයා පදිංචි කිරීමේ ආණ්ඩුවේ සැලසුම් අත් හිටුවීම වැනි කරුණු ජනාධිපතිවරයා සමග මාර්තු 25 වැනිදා පැවැත්වීමට නියමිත සාකච්ජාවේදී වැඩි අවධානයක් යොමු කිරීමට සන්ධානයේ නායකයන් තීරණය ඇති බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.


සබැඳි පුවත් :


TNA ජනපති හමුවට බාලගිරි දෝෂය

ආණ්ඩුවේ 'ඉත්තන් වීමට' ජනපති හමු නොවන ලෙස TNA ට ඉල්ලීමක්

මෝඩි එන්න ලං වෙද්දී ජනපතිට දෙමළ පක්ෂ සමග කතාවට සැරසෙයි

දෙමළ මන්ත්‍රීවරුන් මගහැරියේ 'සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් ජනාධිපති'


 

 

The Leader TV අද වීඩියෝ

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්