ඉඟුරුකඩේ මංසන්ධියෙන් ආරම්භ වී ගාලුමුවදොර වරාය නගරයෙන් අවසන් වන මංතීරු 4 ක් සහිත වරාය පිවිසුම් අධිවේගී මාර්ගය
ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 28,002 ක මුදලක් වැය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
කුළුණු මතින් දිවෙන කි.මි 5.3 ක එම වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර 2023 වසරේ දී අවසන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ, පසුගිය දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් වල ප්‍රගතිය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
කුළුණු මත ඉදිකරන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භවූ මුල් වසර දෙක ඇතුලත එහි ඉදිකිරීම් ඉතාමත් මන්දගාමී අයුරින් සිදු වුන බැවින්, ඉදිකිරීම් වල ප්‍රගතිය 7% ක් වැනි අඩු ප්‍රමාණයක තිබිණි.
කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදි. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.
කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කි.මි 5.3 ක් වේ. මංතීරු 4 ක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. ඉඟුරුකඩේ මංසන්ධියෙන් ආරම්භ වී ගාලුමුවදොර වරාය නගරයෙන් අවසන් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා රු.මිලියන 28,002 ක මුදලක් වැය කෙරේ.
මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගය පිවිසුම් 5 කින් සමන්විත වේ. ඒවා නම් ඉඟුරුකඩේ පිවිසුම, පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම, අලුත් මාවතේ පිවිසුම, ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වේ.
මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් වේ.
ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී මෙම කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගය හා සම්බන්ධවේ.