ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත නමින් ඉදිරිපත් කර මාර්තු 22 දින සම්මත කර ගැනීමට යන පනත් සංශෝධනය මුළුමනින්ම වංචාවක් හා බොරුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මෙම අදහස් ඉදිරිපත් වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාර්තු 21 දින නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් පහත අදහස් පලවිය.
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මර්දනීය පනතක්. එහි අන්තර්ගත ප්රජාතන්ත්රවිරෝධී කොටස් සංශෝධනය කරන බව පවසමින් ආණ්ඩුව ගෙන ආ සංශෝධනය මගින් එහි ඇති භයානක බව වෙනස් වෙන්නේ නෑ.
නිදසුනක් ලෙස මේ පනත මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, චෝදනා ඉදිරිපත් කිරීමකින් හෝ නඩු පැවරීමකින් තොරව, අවම වශයෙන් අධිකරණයක් ඉදිරියට පැමිණවීමෙන් තොරව රඳවා තබා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ රැඳවුම් නියෝගයක් පමණයි.
මේ සංශෝධනය මගින් එලෙස රඳවා තබා ගත හැකි කාලය මාස 18 සිට 12 දක්වා අඩු කරලා. ඒ කියන්නේ මින් ඉදිරියටත් පුද්ගලයෙකුව අධිකරණය ඉදිරියට නොපමුණුවා වසරක් රඳවා ගැනීමේ බලයක් ආරක්ෂක අමාත්‍යාංශය සතු වෙනවා.
මේ පනතට අනුව පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේදී, ඇතැම් විට වධහිංසා මැද කරන බලහත්කාරී පාපොච්ඡාරණයක් නඩුවේදී ඔහුට හෝ ඇයට එරෙහි සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකියි.
නිදසුනක් ලෙස නල්ලරත්නම් සිංහරාසා නඩුවේදී ඔහුගෙන් බලහත්කාරයෙන් ලබාගත් ප්‍රකාශයක් මත පදනම්ව ඔහුට වසර 35ක සිර දඬුවමක් ලබා දුන්නා. ඒ සඳහා අවකාශය සලසන පනතේ 16 වන වගන්තිය මේ සංශෝධනයේදී වෙනස් කර නැහැ.
අධිකරණයේදී රක්ෂිත බන්ධනාගාර ගත කරන සැකකරුවන් බන්ධනාගාර වලින් පිට වෙනත් තැන්වල රඳවා තැබිය හැකි 7(3) වගන්තිය හෝ බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු ඉන් පිටතට ගෙන යාමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට බලය දෙන 15(3) වගන්තිය මේ සංශෝධනයෙන් ඉවත් කර නැහැ. ඒ නිසා දිගටම සැකකරුවන් වධකාගාර වල රැඳවීමට සහ බන්ධනාගාරගත රැඳවියන් ආයුධ පෙන්වීමේ නාඩගම් වලට පිටතට රැගෙන යාමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයක් නැ !
මෙහි ඇති බරපතලම ප්රශ්නය මුල් පනතේ මෙන්ම මේ සංශෝධනයේත් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයක් නැති වීම.
ඒ නිසා නිවසේ අලංකාර කඩුවක් තබා ගැනීම, ත්‍රස්තවාදී සැකකරුවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබීම, යුද්ධයේදී මියගිය අය සැමරීම, අරාබි භාෂාවෙන් ලියැවුණු පොතක් ලඟ තබා ගැනීම, ආගමික අදහස් සහිත කවියක් ලිවීම ආදී දේ පවා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලෙස අර්ථදක්වා අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා තබා ගන්න පුළුවන්.
පුරවැසියන්ගේ සිවිල් අයිතීන් වලට සීමා පැනවීමට පනතින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට පවරා තිබූ බලය මේ සංශෝධන පනතේ 11 වන වගන්තියෙන් තවත් තහවුරු කර තිබෙනවා. ඇප ලබා ගැනීමේ අවකාශය පුළුල් කරන බව කීවත් එවැන්නක් සිදුවී නෑ.
ඇප ඉල්ලා සිටිය හැක්කේ අත්අඩංගුවට ගෙන මාස 12ක් තිස්සේ නඩු නොපවරා තිබුණේනම් පමණයි. නඩු නැතිව වසරක් සිරකර තැබීමට සහ නඩු අවසන් වනතුරු සිරකර තැබීමට නව සංශෝධනයෙනුත් බාධාවක් නෑ.
සියළු කරුණු සැලකූ විට පෙනෙන්නේ මේ සංශෝධනය බොරුවක් හා වංචාවක් බව.
1979දී මේ පනත ගෙනාවෙත් තාවකාලික පනතක් ලෙස. නමුත් වසර 43ක් තිස්සේ එය අඛණ්ඩව පවත්වාගෙන යමින් මේ මර්දන නීතිය රටේ සාමාන්‍ය නීතිය බවට පත්කර තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන අවශ්‍ය නෑ. එය අහෝසි කළ යුතුයි. එවැනි අනෙකුත් මර්දන අණපනත් සියල්ල අහෝසි කළ යුතුයි.
මේ ප්රජාතන්ත්රවාදී අයිතීන් දිනා ගැනීමට යුරෝපා සංගමය හෝ වෙනත් අධිරාජ්‍යවාදී බල ව්‍යුහයක් මත විශ්වාසය තැබීම වෙනුවට මර්දන නීති වලට එරෙහි ජන බලයක් ගොඩ නැගිය යුතුයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ සඳහා මැදිහත් වෙනවා. අපි එම ක්‍රියාකාරීත්වය සඳහා ජනතාවට ආරාධනා කරනවා. හෙට දින මේ සංශෝධන පනත සම්මත කළත් එය ජනබලයෙන් පරදවමු.
The Leader TV අද වීඩියෝ