පාට පක්ෂ බේදයෙන් තොරව පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැපවන සියලු පාර්ශවයන් සමග එක්ව ආණ්ඩු බලය ලබාගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.


ඔහු එබව කියා සිටියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් ආණ්ඩුකරණය භාරගැනීමේදී තමන්ගේ අරමුණු වෙනුවෙන් හෝ පටු දේශපාලනය වෙනුවෙන් හෝ කටයුතු නොකළ යුතු බවද ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

රටේ ජනතාව හාමතේ මිය ගිය පසුව, රටේ ආර්ථිකය කඩාගෙන වැටුණ පසුව, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමෙන් පසුව ආණ්ඩුකරණය ලබාගැනීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවද, ඒ නිසා වහාම විධායක ජනාධිපති ක්‍රමය පැත්තකට දමා, විසි වැනි සංශෝධනය අහෝසි කර වෙනස් නොවන පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් සියලු දෙනාම එක්විය යුතු බවද මන්ත්‍රීවරයා පැවසුවේය.



රටේ සියලු දේශපාලන පක්ෂ එක්ව රට ගොඩනැගීම සඳහා පොදු ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද මේදිනවල විවිධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවෙමින් අවධාරණය කරමින් සිටියි.



මෙම මාධ්‍ය හමුව අමතමින් මනුෂ මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''බොර දියේ මාළු බාන වෙලාවක් නෙමෙයි.''



''මේ වෙලාවේ කවුරුවත් ආණ්ඩු බලය ලබාගැනීමක්, පක්ෂ දේශපාලනයක් කරන්න, බොර දියේ මාළු බාන වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වෙලා, පෝලිම්වල මැරී වැටෙන, තුන්වේල තියා දෙවේලක්වත් කන්න බැරි වෙලා ඉන්න වෙලාවක්. ධනවතුන්, මධ්‍යම පංතිය කඩාගෙන වැටෙන, දුප්පත් ජනතාවට කන්න බොන්න නැතිවෙන දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදාවෙලා තියෙන්නේ.

මේ වගේ වෙලාවක දේශපාලන ගේම් ගහන්නවත්, මේ හරහා වෙනත් බල තුලනයක් ඇති කිරීම නෙමෙයි විය යුත්තේ. මේ වෙලාවේ අපි සියලු දෙනාම එකට එකතුවිය යුතුයි. එකට එකතුවෙලා රාජපක්ෂලා එලවන්න කටයුතු කළ යුතුයි. 

 
එහෙම නැතිව පුද්ගලික ඉලක්ක වෙනුවෙන්, තම තමන්ගේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කරන වෙලාවක් නෙමෙයි මේක.



දැන් සර්ව පාක්ෂික සමුළු කැදවලා ප්‍රශ්ණ විසදන්න කතා කරන, ඒත් ඒක පාර්ශවිකව ඉදගෙන හොරකම් කරපු කණ්ඩායම මේ රටෙන් අතුගාදාන්න කටයුතු කළ යුතුයි. මිනිස්සුන්ට සාපයක් කළ රාජපක්ෂවරු මේ බිමෙන් අතුගා දාන්න ඕන ..


ඒකට මේ රට කරන්න පුලුවන්, මේ ආර්ථික ප්‍රශ්ණය විසදන්න පුලුවන්. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්න පුලුවන්. මේ රටේ ඉදිරි අනාගතය ගොඩ නගන්න පුලුවන්. ප්‍රතිපත්ති රාමුවක් මත කටයුතු කළ යුතුයි. ප්‍රතිපත්ති සකස් කරලා, ඒ ප්‍රතිපත්ති මත කටයුතු කරන්න පුලුවන් කණ්ඩායමක් එකට එකතුවෙන්න ඕන.  

සියලු වාද බේද අතහැරලා, පැත්තකට දාලා මේ ආණ්ඩුකරණ භාරගත යුතුයි. එතැනදී පක්ෂ දේශපාලනයවත්, තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවත් තිබිය යුතු නෑ.



''ජනාධිපතිකම් ගන්න සූට් මහගෙන හිටියට වැඩක් නෑ.''



පෝලිමේ මැරෙන මිනිස්සු තවදුරටත් මැරුනට පස්සේ, තවදුරටත් මිනිස්සු හාමතේ මැරුණට පස්සේ, දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටුනට පස්සේ, ආර්ථිකය බංකොලොත් වුනාට පස්සේ අපි කවුරු ආණ්ඩු ගත්තත් වැඩක් නෑ. කවුරු කවුරුත් ජනාධිපතිකම් ගන්න සූටි මහගෙන හිටියත් ඒ ජනාධිපතිකම් වලට ගිහින් වැඩක් නෑ.

මේ රාජපක්ෂ ආණ්ඩුව හමුවන පළමු නිමේෂයේදී ගෙදර යවලා, ප්‍රතිපත්ති වෙනුවෙන් එකට එකතුවෙන, සියලු දෙනාම පිළිගන්නා, වෙනස් කළ නොහැකි ප්‍රතිපත්ති රාමුවක් වෙනුවෙන් සියලු දෙනාම එකට එකතුකරගෙන ගමනක් යන්න ඕන. 
 
එතැනදී විධායක ජනාධිපතිධූරය පැත්තකට දාලා, විසි වැනි සංශෝධනය පැත්තකට දාලා තවත් අවුරුදු ගණනාවටක මේ රට ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කරන පොදු දැක්මක් ඇති කණ්ඩායමක් එකතු විය යුතුයි.



''අරයා අරහෙට යනවාද, මෙතැනට යනවාද කියන එක අදාල වෙන්නේ නෑ''



එතැනදී අරයා අරහෙට යනවාද, මෙතැනට යනවාද කියන එක අදාල වෙන්නේ නෑ. සියලු දෙනාම තමන් ඉන්නා තැන්වලම සිටිමින් රටේ මිනිසුන්ගේ දුක වෙනුවෙන් මිනිස්සු එකතුවෙන්න ඕන. එහෙම නැතිව තමන්ගේ පුද්ගලික අරමුණු තියාගෙන, මිනිස්සුන්ට කන්න බොන්න නැතිව මැරිලා වැටුනට පස්සේ අපිට ඉබේම බලය ලැබේවි කියලා හිතාගෙන කවුරු කවුරු හරි දේශපාලනය කරනවා නම් ඒක වැරදියි.




විපක්ෂය ලෙස අපේ භූමිකාව පාර්ලිමේන්තුව ඇතුලේදීත්, පාරේදීත් කරගෙන යනවා. මේ රාජපක්ෂ හොර නඩය ඉතාමත් ඉක්මනින් එලවලා ජනතාවාදී ආණ්ඩුවක් හදලා, සියලු පක්ෂ එකතුවෙන, පටු දේශපාලනයෙන් බැහැර වෙලා රට වෙනුවෙන් වන ගමනක් වෙනුවෙන් අපි එකතු වෙන්න ඕන



මේ වගේ එකතුවීම් ගැන විවිධ සාකච්ඡ පැවැත්වෙනවා. අනාගතයේදී සුබ දෙයක් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපිට මේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න හැකියාව ලැබුණොත් තවත් දශක ගණනාවකට එකම ප්‍රතිපත්තියක් අරගෙන යන්න පුලුවන් නම්, හොරකම තුරන් කරන්න පුලුවන්නම්, ඇමැති මාරුවුනාම ප්‍රතිපත්ති වෙනස් නොවන රාමුවක් ඇති කළාට පස්සේ අපි දේශපාලනය නොකළත් කමක් නෑ. මේ රට වෙනුවෙන් කළ යුතු සේවාව අපි ඉටු කරනවා.


පක්ෂ දේශපාලනයට වඩා අපිට මේ අවස්ථාවේදී වැදගත් වන්නේ පොදු ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමයි. ජනතාව හාමතේ මැරෙන හැටි, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන හැටි අපිට තවදුරටත් බලාගෙන ඉන්න බෑ.''


 
 

The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්