දෙමළ ජනතාවගේ විරෝධය මැද සාකච්ජාවට ගිය දෙමළ නායකයන්ට ජාතික ප්‍රශ්නයට දෙන දේශපාලන විසඳුම් ගැන සාකච්ජා කිරීම කල් දමා, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත්, අතුරුදහන් කළවුන් ගැන විමර්ශන

කිරීමටත්, ඉඩම් අත්පත් කර නොගැනීමටත් ජනාධිපති පොරොන්දුවී තිබේ.

''අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම් පත තව මාස දෙකකින් විතර ලැබුනට පස්සේ ජාතික ප්‍රශ්නයට විසදුම් ගැනත්, බලය බෙදා හැරීම ගැනත් කතා කරන්න ජනාධිපති පොරොන්දු වුණා. ඊට කලින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා කියලත් කිව්වා,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.

තුන්වරක් අවසන් මොහොතේ කල් දැමූ දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති අතර සාකච්ජා පසුගිය සතියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපති, අගමැති සහ විදේශ, අධිකරණ ඇමැතිවරුන්ට අමතරව ජනාධිපතිගේ වැඩිමල් සොයුරු වාරිමාර්ග ඇමතිවරයා ද සහභාගිවී තිබේ.



ජනාධිපතිගේ ඇරයුම ප්‍රතික්ෂේප කරමින් තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් පෙන්වා දුන්නේ රට තුලත්, ජාත්‍යන්තරයේත් පසුබෑමට ලක්ව ඇති ආණ්ඩුව සමග සාකච්ජා කිරීම මගින් දෙමළ නායකයන් `ඉත්තන්` ලෙස යොදා ගැනීමේ වෑයමක් ඇති බවයි.



 සාකච්ජා වට කිහිපයක් පැවතියද ටෙලෝ සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිසිවෙක් ජනාධිපති හමුවට පැමිණීමට එකඟ වී නැත.

එහෙත් ජනාධිපති හා දෙමළ ජාතික සන්ධාන හමුව අවසන් වීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, සෙල්වම් අඩෙයික්කලනාදන්, විනෝ නෝහරාදලිංගම් සහ ගෝවින්දන් කරුණාකරන් යන ටෙලෝ සංවිධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සහභාගිවූ බවයි.



ජනාධිපති සමග පැවැත්වෙන සාකච්ජා මගින් දෙමළ ජනයාට කිසිදු සෙතක් නොවන බැවින් ඊට එක් නොවූ බවත්, ජනාධිපති මාධ්‍ය අංශය අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත්, ටෙලෝ නායකයා පවසයි.



දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂවල නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාකච්ජාවට සහභාගිවී තිබේ.

උතුරු නැගෙනහිර පළාතේ දෙමළ ජනයා සතු ඉඩම් රජයේ ආරක්ෂක අංශ විසින් දැනට බලහත්කාරයෙන් අත්පත් කරගෙන වාඩිලා සිටින ඉඩම් හැර මින් ඉදිරියට හමුදාවට, නාවික හෝ ගුවන් හමුදාවට ඉඩම් අත්පත් කර නොගන්නා බවට ජනාධිපති දෙමළ ජාතික සන්ධානයට සහතික වී තිබේ.  

''උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් මායිම් නැවත වෙනස් කරන්නේ නැහැ කියලත්, විශේෂ පනත් යටතේ ඉඩම් අත්පත් කර ගන්නෙ නැහැ කියලත්, ජන සංයුතිය වෙනස් කරන්න හදන්නේ නැහැ කියලත්, ජනාධිපති අපිට සහතික වුණා.''යි සුමන්තිරන් පවසයි.



''අතුරුදහන් කළවුන් ගැන පසුබිම හොයා බලා ඔවුන්ට මොකද වුනේ කියලා විමර්ශනය කරන බවත් ඔවුන්ගේ ඥාතීන්ට දැනට ලබා දෙන්න තීරණය කරලා තියෙන රුපියල් ලක්‍ෂයක මුදල තාවකාලික එකක් බවත් ඉදිරියේදී එම වන්දිය වැඩි කරනවා කියලත් කිව්වා.''



යුද්ධය අවසන් කර වසර 13 කට පසු ඉන්  හානියට පත් උතුරු නැගෙනහිර ආර්ථික යළි විශේෂ සංවර්ධන අරමුදලක් ගොඩ නැගීමට ආණ්ඩුව අපේක්‍ෂා කරන බව මෙම සාකච්ජාවේදී අනාවරනය වී තිබේ. දෙමළ ජාතික සන්ධානය පවසන පරිදි දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින ආණ්ඩුව විදෙස් ගතව සිටින යුද පීඩිත දෙමළ ජනයාගේ ආයෝජන මේ සදහා අපේක්‍ෂා කරන බවයි.

රටට හතුරු බලවේගයක් ලෙස ජනාධිපති ප්‍රමුඛ සිංහල බෞද්ධ නායකත්වයේ ගර්හාවට ලක්ව සිටින දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන රටට අද්දවා දීමට 'පාලමක් වීමට' මීට දින දෙකකට ඉහතදී ජනාධිපතිවරයා විසින් කැඳවන ලද 'සර්ව පාක්ෂික'  සමුළුවේදී දෙමළ ජාතික සන්ධානය සහතික වී තිබුණි.

''අපිට පාලමක් හැටියට කටයුතු කරන්න පුළුවන්. රටට තම මුදල් ගෙනල්ලා මේ රටේ ආයෝජනය කරන්න සූදානම් අය එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් බලය විමධ්‍යගත කිරීමෙන් තොරව සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නෑ,'' යි එම්. ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි.



කෙසේවෙතත්, විදේශගත දෙමළ සංවිධාන කිහිපයක් සහ එහි නායකත්වය දිවයින තුල තහනම් කර තිබියදී ඔවුන්ගේ ආයෝජන නීත්‍යානුකුල වන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා හෝ TNA ප්‍රකාශකයා හෝ ප්‍රසිද්ධියේ පැහැදිලි  කර නැත.



ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් රටවැසියා කෙරේ අවධානය යොමු කොට මේ වසරේ අයවැයෙන් යෝජනා කර ඇති සංවර්ධන කටයුතු අත් හිටුවා එය සහන ලබාදෙන අයවැයක් බවට පත් කළ යුතුයැයිද දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී යෝජනා කර තිබේ.


තවත් සාකච්ඡා



තවත් සාකච්ජා වට කිහිපයක් පැවැත්වීමට එකඟ වී ඇති ජනාධිපතිවරයා දේශපාලන විසදුම් හා  බලය බෙදා හැරීම ගැන ඉදිරියේදී දෙපාර්ශවය අතර සාකච්ජා කිරීමට නියමිතය.

''එම සාකච්ජාවන්ට පෙර දැනට පොරොන්දු වී ඇති කරුණු ඉටු කිරීමෙන් පසු කතා බහ ඉදිරියට යයි.'' සුමන්තිරන් කියයි.

දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපතිවරයා අතර සාකච්ජාවට අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් දැඩි විරෝධය දැක්විය.

''ජනාධිපති එක්ක කතා කරන්න දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ යනවා නම් ඒක අතුරුදහන් කරපු අයට කරන ද්‍රෝහිකමක්,'' යැයි අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා යෝගරාජා කනගරංජනී පවසන්නීය.

සත්‍යය සොයන සටන අතහැර ආණ්ඩුවේ ලක්ෂයේ වන්දිය ලබාගැනීම බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්