1200 x 80 DMirror

සමාජසේවා ඇමැතිධූරයට විෂය හා ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ඇති අයෙක් පත් කිරීම ආණ්ඩුවේ වග කීමක් බවට ආබාධ සහිත ලාංකික ප්‍රජාව

අවධාරණය කර තිබේ.

''අද සමාජසේවා ඇමතිකම දරන කෙනා ඒකට සුදුසු නැහැ. මෙවැනි දේ සුදුසු නැති පුද්ගලයින් වෙත පිරිනැමු විට ඒ ක්‍ෂේත්‍රයන්, විෂය නියම ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ආණ්ඩුවට වගකීමක් තිබෙනවා ඒ ඒ ක්‍ෂේත්‍රයන් සඳහා ගැලපෙන සුදුසු ම ඇමතිවරයා ව තෝරා පත්කරන්න.''යැයි ලංකා දෘෂ්‍යාබාධිතයින්ගේ සුබසාධන සංගමයේ සභාපති ඩබ්. එස්. චාල්ස් ප්‍රකාශ කරයි.

තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් පසුගිය සති අන්තයේ මීගමුවේ දී පැවැත්වු “ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය කිරීමේ ජාතික සමුළුව” අවසානයේ දී පැවැති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ, සමාජසේවා අමාත්‍යංශය, දෙපාර්තමේන්තු ශීතල කාමරවල සිට සකස් කළ සැලසුම්  බිම් මට්ටමේ සිටින දෘශ්‍යාබාධිතයන්ට මෙන් ම අනෙකුත් ආබාධ සහිත පුද්ගලයින්ට සහනයක් සේවාවක් සිදුවෙනවාද යන්න ප්‍රශ්නයක් බවයි.

 

“දෘශ්‍යාබාධිත පුද්ගලයෝ කියා කොට්ඨාශයක් මේ රටේ ජීවත්වනවාද? ඔවුන් ජීවත්වන්නේ කොහොමද? ඔවුන්ගේ ආදායම් මාර්ගය මොනවද? ඔවුන්ගේ දරුවෝ අධ්‍යාපනය හදාරන්නේ කොහොමද? මේ කිසිවක් ගැන ආණ්ඩුව දන්නේ නැහැ.

 

1977 විවෘත ආර්ථීකයේ සම්ප්‍රාප්තියත් සමග දෘෂ්‍යාබාධිතයන් ස්වයං රැකියාවක් ලෙස යෙදෙමින්  සිටි අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත බිඳ වැටිණි. ඔවුන්ගේ නිෂ්පාදනයන් සඳහා ආණ්ඩුවෙන් ආධාර අනුබලයක් නොලැබුන ද නිෂ්පාදන ප්‍රමාණය, ලබන ආදායම් හා අදාළ වැඩ සැලසුම් ගැන වාර්ෂික වාර්තා ලබා දිය යුතු බව ද චාල්ස් පෙන්වා දෙයි.

''කෝවිඩ් ව්‍යාප්තිය තුළදී ත් ආබාධිතයන් ගැන අවධානයක් තිබුණාද? අපි කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකයි ජීවත් වුණේ.''

පවතින දැඩි ආර්ථීක අර්බුදය හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවන, නිසි පිළිවෙලකින් තොරව සමාජ සේවා දෙපාර්තමේන්තුව ලබා දෙන රුපියල් 5000 ක දීමනාව හිමි වන්නේ ලක්ෂ විසිහතරක් වන මෙරට සමස්ත ආබාධිතයන්ගෙන් දෘශාබාධිතයන්ට පමණි.

 

''අපි අන්ධ භාවයට පත්වුනේ ඇගිල්ලෙන් ඇහැට ඇනගෙන නෙමේ. ඒක ජානමය හේතුවක් හරි, වෙනත් ආබාධවල ප්‍රතිඵලයක් විදිහට උරුම වුනු  දෙයක්, අපිටම කියලා බැංකු ගිණුමක්, කාඩ්පතක් විවෘත කරගන්නටවත් හැකියාවක් නැහැ. ප්‍රඥප්තිවල තිබුනත් පාරවල් වල හා ගොඩනැගිලිවලට ආබාධ සහිත පුද්ගලයෙකුට ඇතුල් වෙන්න මාර්ග නැතිතරම්.''

 

ආබාධිතයන්ට නිවාසයක්,අවම වශයෙන් දුම්රිය බස්රිය ප්‍රවේශ පත්‍රයක් නොමිලේ ලබාදීමට ආණ්ඩුව මෙතක් පියවර නොමැති බව පවසන දෘෂ්‍යාබාධිතයින්ගේ සුබසාධන සංගමයේ සභාපති ඉල්ලා සිටින්නේ ඔවුන් කෙරෙහි අනුකම්පාව නොව සිය අවශ්‍යතාවන්ට අනුව ජිවිත ක්‍රියාකාරකම් ඉටු කර ගැනීමට අවශ්‍ය සහයෝගයයි.

''මටත් පුලුවනි දෘෂ්‍යාබාධිත අය සියයක් දෙසීයක් මහපාරට ගෙනල්ලා අපිට දියව් අපිට දියව් කියලා කෑගහලා උද්ඝෝෂණය කරන්න. නමුත් අපි බොහෝම නිශ්ශබ්දව අපි විසින් අපිව බලාගෙන අපේ වෙළෙඳ ප්‍රජාවගේ උදව්වෙන් තමයි වසර 21 පුරාවට අපේ සංගමය ඉදිරියට ගෙන යන්නේ.''

 

 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය