theleaderlk 01

ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම දෛනික විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලය වෙත බදාදා (මාර්තු 30)

අවසර දී ඇත.

මෙගාවොට් 750MW තාප විදුලි ධාරිතාවක් උත්පාදනය කරන බලාගාර සඳහා ඉන්ධන නොමැතිකම ඊට හේතුව යි.

ඒ අනුව අද (මාර්තු 31) දිනයේ අදියර 03ක් යටතේ පැය 13ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

විදුලි කප්පාදුව හේතුවෙන් ගෘහස්ත පාරිභෝගකයින් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද දැඩි දුෂ්කරතාවට පත්ව සිටින අතර වැඩිම බලපෑමක් එල්ලවී අත්තේ ස්වයං රැකියාවල නිරතව සිටින පිරිස්වලටය.


අද විදුලිය කැපෙන්නේ කොහොම ද?

 

# A,B,C,D,E,F කාණ්ඩවලට පෙ.ව 3 සිට පෙ.ව 6 අතර පැය 3ක්, දහවල් 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක් හා සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක්

 

# G,H,I,J,K,L කාණ්ඩයට පෙ.ව. 12 සිට පෙ.ව 3 දක්වා පැය 3ක්, පෙරවරු 8 සිට දහවල් 12 දක්වා පැය 4 ක් හා සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක්

 

# P,Q,R,S කාණ්ඩවලට පෙ.ව 3 සිට පෙ.ව 6 දක්වා පැය 3ක්, දහවල් 12 සිට 4 දක්වා පැය 4ක් හා සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක්

 

# T,U,V,W කාණ්ඩවලට - පෙ.ව. 12 සිට පෙ.ව 3 දක්වා පැය 3ක්, පෙ.ව. 8 සිට 12 දක්වා පැය 4ක් හා සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක්

 

# M,N,O,X,Y,Z කාණ්ඩවලට උදෑසන 5.30 සිට 9 දක්වා පැය 3 යි මිනිත්තු 30ක්, පස්වරු 4 සිට පස්වරු 6 දක්වා පැය 2 ක්

 

"බලයේ සිටින අයගෙන් කැපකිරීම් ඉල්ලා සිටීමට ජනතාවට අයිතියක් ඇත."


පවතින විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙලෙස කියා තිබුණි.

"පැය 13 ක විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ඖෂධ හිඟය, අහස උසට මිල ගණන්. මේ රටේ ජනතාව බොහෝ දේ දරාගෙන කැපකිරීම් කරනවා. මේ රටේ නායකයන් අපට කියන්න ඕනෑ ඔවුන්ගේ සැලසුම් මොනවාද කියලා. එයාලට සැලසුමක් නැත්නම් අපි ඒකත් දැනගන්න ඕන. නායකත්වයේ නිහඬතාවය සහ ආණ්ඩුවේ අංශභාගය පුදුම සහගතය. බලයේ සිටින අයගෙන් කැපකිරීම් ඉල්ලා සිටීමට ජනතාවට අයිතියක් ඇත."


සාලිය පීරිස්

මේ අතර මජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපතිවරයා අඟහරුවාදා පැවසූවේ කොමිසමට ඉතාමත් කණගාටුදායක දවසක් බවයි. මේ වන විට විදුලි අර්බුදයේ ඉතාම උච්චාතම අවස්ථාවට අප පැමිණ තිබෙන බවත් එය ඉතාමත් ව්‍යාකුල තත්ත්වයක් බවත් ඔහු පැවසීය.

ඔහු තවදුරටත් පවසූවේ පවතින තත්ත්වය හමුවේ දවස් දෙකක නිවාඩුවක් ලබාදී රාජ්‍ය ආයතනයන් හී සේවකයන්ට නිවසේ සිට වැඩකිරීමට අවසර ලබා දෙන ලෙසයි.

මේ අනුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසූවේ තම අමාත්‍යංශ කාර්යමණ්ඩලයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට ගෙන්වා ගැනීම සඳහා උපදෙස්ලබා දුන් බවයි.

"ප්‍රවාහන හා විදුලි වියදම් මැඩලීම සඳහා අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අංශයේ අනුමැතිය ලබා ගන්නා ලෙස මා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දුන්නා. සෙසු සේවක මහත්ම මහත්මීන්ට නිවසේ සිට සිය රාජකාරී සිදු කිරීමට හැකියාව පවතිනවා."

namal twit


ඩීසල් හිඟය අප්‍රේල් 05 වැනිදා දක්වා


රටතුල පවතින ඉන්ධන අර්බුදය එළඹෙන අප්‍රේල් 05 වෙනිදා තෙක් පැවතිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහජනතාවට දැනුම් දී සිටියි.

ඉන්ධන ලැබීමේ යම් ප්‍රමාදයක් පවතින බැවින් මෙලෙස තවදුරටත් ඉන්ධන හිගතාවයක් පැවතිය හැකි බව ඔහු ඊයේ (මාර්තු 30) පැවති මධ්‍යහමුවකදී පවසා සිටියේය.

"ඩීසල් නැතිම වෙන්නේ නැහැ. 05 වැනිදා දක්වා හිඟ තත්ත්වයක් පැවතිය හැකියි"

ලබන 05 වෙනිදා තෙක් සීමා සහිතව ඉන්ධන බෙදා හැරීමක් රටතුල සිදුකෙරෙන බවද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේය.

අප්‍රේල් 04 වැනිදා සිට ඉන්දියානු ණය ආධාර යටතේ නියමිත සැලස්මට අනුව ඉන්ධන ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

ඩීසල් ටොන් 37,500ක් රැගත් නෞකාවෙන් සැලසුම් කළ පරිදි ඉන්ධන ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ පැවසීය.

මේ හේතුවෙන් ඊයේ (මාර්තු 30) සහ අද (මාර්තු 31) ඩීසල් සඳහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බව ඔහු සහතික කළේ ය.

පෙට්‍රල් බෙදාහැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව ද ඛණිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම් පවතින වාතාවරණයක් තුළ මෙම තත්ත්වය උද්ගතව තිබේ.


නිමක් නැති ගෑස් පෝලිම්


දිවයින පුරා පවතින ගෑස් හිඟයට ද මෙතෙක් විසඳුම් ලැබී නැත.

මේ වන විට ප්‍රධාන සමාගම් දෙක මඟින්ම ගෑස් වෙළෙඳපොළ වෙත නිකුත් කළ ද ගෑස් සඳහා පවතින පෝලිම්වල අඩුවක් දක්නට නොලැබේ. ලිට්‍රෝ සමාගම පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් පෙරේදා රාත්‍රියේ මෙරටට ළඟා වූ බව යි.

ඉන් ගෑස් ගොඩබෑම ඊයේ ආරම්භ කිරීමට නියමිත යි.

ඊයේ දිනයේ ගෑස් සිලින්ඩර් 110 000ක් වෙළෙඳපොලට නිකුත් කළබව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.


ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය ඉතා පහළ මට්ටමක


ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වන විට ඉතාමත් අවම තත්ත්වයක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැ යි විදුලිබල අමාත්‍යාංශය පැවසීය.

මේ වන විට දිවයිනටම බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලි බලය උත්පාදනය සඳහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වන විටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි.

කාසල්රි ජලාශය : ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 15.34 දක්වා පහළ බැස ඇති අතර, උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැකි පිටාර මට්ටමේ සිට මීටර් 19.0 වන තෙක් පමණි. ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළ හැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 07.3ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවෙන් 07.7%කි.

මාඋස්සාකැලේ ජලාශය : ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.69 දක්වා පහත බැස ඇත. උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැකි පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වන තෙක් පමණි. ඒ අනුව මා උස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් ජනනය කළ හැකි විදුලි ඒකක ගිගාවොට් පැය 77.7, සමස්ත ධාරිතාවෙන් 27.4%කි.

සමනල වැව ජලාශය : ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 25.20 දක්වා පහත බැස තිබේ. ජලාශයේ ජලය උපරිම වශයෙන් අඩුකළ හැකි පිටාර මට්ටමේ සිට මීටර් 31 වන තෙක් පමණි. ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැකි විදුලි ඒකක ගිගාවොට් පැය 15.2, සමස්ත ධාරිතාවෙන් 11.4%කි.




විදුලිබල උත්පාදනය කෙරෙනා මහවැලි සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශවල මේ වන විට පවතින ජල මට්ටම් මෙසේ ය:


කොත්මලේ ජලාශය : ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.97 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ ජලය උපරිම වශයෙන් අඩුකළ හැකි වන්නේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැකි විදුලි ඒකක ගණන ගිගාවොට් පැය 29.0ක් වන අතර එය සමස්ත ධාරිතාවෙන් 20.3%කි.

වික්ටෝරියා ජලාශය : ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 27.49 දක්වා පහත බැස ඇත. ජලාශයේ ජල මට්ටම උපරිම වශයෙන් අඩුකළ හැකි සීමාව පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණි. වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් ජනනය කළ හැකි විදුලි ඒකක ගණන ගිගාවොට් පැය 133.3ක් වන අතර එය සමස්ත ධාරිතාවෙන් 30.1කි.

මහවැලි ජලාශවලින් රටේ පානීය ජල අවශ්‍යතාව සහ කෘෂිකාර්මික කටයුතුවලට ද ප්‍රමුඛතාවකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශවලින් ජල විදුලි බලය ජනනයයට ජලය මුදාහැරීම ද සීමා කළයුතුව ඇත.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


යල කන්නයට ජලය නිකුත් කිරීම


යල කන්නනයට ජලය නිකුත් කිරීම අප්‍රේල් මස මුල් සතියේ සිට අවසන් සතිය දක්වා ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
දැනටමත් අම්පාර දිස්ත්‍රික්කයේ එම කටයුතු ආරම්භකර ඇත.

යල කන්නය සඳහා ප්‍රමාණවත් ජලය පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කෙසේ වෙතත්, නිසි කළමනාකරණයකින් යුතුව ප්‍රවේශමනේ ජලය භාවිතයට ගැනීමේ අවශ්‍යතාව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය.

මෙවර යල කන්නයේ දී කුඹුරු අක්කර ලක්ෂ අටක පමණ වී වගාව සිදුකෙරෙනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව මහා වාරි ව්‍යාපාර 354ක් පවතින අතර, ප්‍රදේශයෙන් ප්‍රදේශයට කන්න රැස්වීම් පවත්වා යල කන්නයේ කෘෂිකර්මාන්තයට සහ පානීය ජල අවශ්‍යතා සඳහා ජල නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(BBC සිංහල සේවය)


නවතම පුවත්