මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන්

පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය.

පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබන පාර්ලිමේන්තු සතියේදීම ඉදිරිපත් කළ යුතු අතර ප්‍රශ්න ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සාමකාමීව විසඳා ගන්නට හැකි වේවායි  ප්‍රාර්ථනා කරන බවද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය.



''ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වුණා.''


''පීඩාවට  පත් ජනතාවගේ ගැටලු වලට විසඳුම් නොතිබුණු නිසා මිරිහාන පැඟිරි වත්තේ දී ඊයේ (31)රාත්‍රී සමාජ  පිපිරුමක් ඇති වුණා. එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වුණා. මෙම පිපිරීම වර්තමාන දේශපාලන ක්‍රමයේ කඩාවැටීමක් ලෙස හැඳින්විය හැකියි.

පීඩාවට පත් ජනතාවගේ ගැටළු විසඳීමට ආණ්ඩුව අසමත් වුණා.එ ලෙසම විපක්ෂයත් අසාර්ථක වී තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් චෝදනා කරන අතර එසේනම් ඒ සම්බන්ධව සාක්කි සහ තොරතුරු ඉදිරිපත් කර මීට සම්බන්ධ කවුදැයි හෙළි කළ යුතුයි.



මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුව තිබෙනවා. මේ සිද්ධිය ජාතිවාදී සිද්ධියක් නොවේ. එමෙන්ම මෙය ත්‍රස්තවාදී සිද්ධියක් ද නොවේ. එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින  තත්ත්වය තවත් උග්‍රවිය හැකියි.




අවාසනාවන්ත සිද්ධියක්..

ජුබිලි කණුවෙි පැවති උද්ඝෝෂණය සාමකාමී ලෙස පැවැත්වුණා. නමුත් පැඟිරි වත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා. එය අවාසනාවන්ත සිද්ධියක්.



මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කෙරෙමින් තිබෙනවා. අප එක කාරණයක් මතක තබා ගත යුතුයි. සාමකාමී උද්ඝෝෂණයකදී කිසිම පුද්ගලයෙකුට හානියක් සිදු නොවිය යුතුයි. එමෙන්ම ප්‍රචණ්ඩත්වයටත් ඉඩ නොදිය යුතුයි.



ජනතාවට සාමකාමීව තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබෙනවා. ජනතාවගේ එම උද්ඝෝෂණ වලට දේශපාලන පක්ෂ සහභාගී නොවිය යුතුයි. එමෙන්ම දේශපාලන පක්ෂ වලට තමන්ගේ රැස්වීම් සහ උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ද තිබෙනවා.

ප්‍රමාද වුවත් පාර්ලිමේන්තුවටත් දැන් වගකීමක් තිබෙනවා. පීඩාවට පත් ජනතාවට  පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතුයි. එය පක්ෂ භේදයෙන් තොරව ජාතික එකඟත්වයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වූ විට අප මේ යුතුකම ඉටු කළ යුතුව තිබෙනවා.

අපේ ප්‍රශ්න ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සාමකාමීව විසඳා ගන්නට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්