ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලම බලයෙන් එළවා දමන තුරු මේ ජන අරගල නොනැවතිය යුතු බව'' හිටපු අමාත්‍ය  පාඨලී චම්පික

රණවක (PCR ) පවසයි.

අද දින (04) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු එබව ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් ඔහු මෙසේද සඳහන් කළේය.


"අද දවස උදා වුණේ මේ රටේ ජනතාවට එක්තරා සුභ ආරංචියක් සමග, අමාත්‍ය මණ්ඩලය සියල්ල අස්වීම අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නාය කියන ප්‍රවෘත්තිය සමග. නමුත් අපි මේවායින් සතුටු වෙනවා වගේම උද්දාම විය යුතු නැහැ.  

මේ ජයග්‍රහණය කිසිම දේශපාලන පක්ෂයකට, සංවිධානයකට නොව පොදු මහජනතාවට අයිති ජයග්‍රහණයක්.

කිසිම දේශපාලන භේදයකින් තොරව සංවිධානය වෙලා කුඩා අත දරුවාගේ ඉඳන්, වැඩිහිටි මහල්ලා දක්වාත්, තමන්ගේ ජීවිත වෙනුවෙන් ඇඳිරි නීතිය නොතකා, පොලිස් පහරදීම් නොතකා, කඳුළු ගෑස් නොතකා, සීඅයිඩීය කඩා පැනීම් නොතකා, සමාජ මාධ්‍ය ජාලා හරහා කළ නියම ජනතා නැගිටීමක ප්‍රතිඵලයක් මේක.

කිසිවෙක් මේකෙන් උද්දාමයට පත්විය යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට ඉල්ලා අස්වීම භාරදුන්නයි කියලා, ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඉල්ලා අස්වෙන්න ඕනේ පත්වීම් බලධාරියා වුනු ජනාධිපතිවරයාට ඒ ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන්. ඒක පලවෙනි දේ.

දෙවෙනි හා වැදගත් කාරණය තමයි මේ විරෝධය එල්ල වෙලා තිබුණේ අමාත්‍ය මණ්ඩලයටත් වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් ඒ වගේම රාජපක්ෂ පවුලටත්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, රාජපක්ෂ පවුලත් මෙයින් එළවා දමන තුරු බලයෙන් එළවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි.

 

ඒ වගේම විශේෂයෙන්ම මේ උද්ඝෝෂණය කළ පෝලිම්වල මියගිය ජනතාවට, ගෑස් පිපිරීම් වලින් මියගිය ජනතාවට, පසුගිය කාලයේ අපා දුක් විඳපු ජනතාවට මේ සියලු දෙනාටම යුක්තිය ඉටු වීමට නම්, ඒ ජනතාවට ඒ මතු පරම්පරාවලට, යුක්තිය ඉටුවීමට නම්  මේ රටේ උපනූපන් ජනතාව ප්‍රකෝටි ගාණක් විදේශ වලට උගස් කරලා, ඒ ධනය කොල්ල කාගෙන ගිය, මේ රාජපක්ෂ පවුලේ ජාවාරම්කාරයින්ට අනිවාර්යෙන්ම බලයෙන් පහ කිරීම සිද්ධ විය යුතුමයි.

 

එදා අපි මේ හඬ නැගුවාම 2014 දී මම ආලපාලු ආර්ථිකය නමැති කෘතිය ලියලා රාජපක්ෂලාගේ ගල් අඟුරු බලාගාරය ගල් අඟුරු ගෙන්වීමේ ඉඳන් සිදුකරන ලද මහා වංචා රාජපක්ෂ පවුලේ දූ දරුවන් ඇතුළු සියලුම දෙනා අධිවේගී මාර්ග වරාය ගුවන්තොටුපළවල් හරහා සිදු කරපු දැවැන්ත ජාවාරම ඒ වගේම මේ රටෙන් ඩොලර් බිලියන 19 ක් රාජපක්ෂ යුගයේදී නීතිවිරෝධීව විදේශ වලට ගලා යාම. අපි ඉදිරිපත් කළාම අපිව දේශද්‍රෝහී කළා.

මේ රටේ ඇතැම් පූජ්‍ය ඒ වගේම ගිහි පිරිස් එකතු වෙලා අපව දේශද්‍රෝහී කරන්න ඇතැම් ජඩ මාධ්‍ය ඉදිරිපත් වෙලා කටයුතු කළා. මාධ්‍ය සංදර්ශන පැවතුණා. මාධ්‍ය බුබුළු පැවතුණා. ඒ මාධ්‍ය බුබුළු හරහා රටේ ජාතිය මේ සියල්ල බේරාගත්ත වීරවරයින්ට අපහාස කරන්න, අවමාන කරන්න, හිරේ දාන්න. ඒ වගේම විදේශ රටවලට ගෙනිහිල්ලා විදුලි පුටුවේ වාඩි කරන්න යනවාය කියන ව්‍යාජ මතයක් රණවිරුවන්ට මුවා වෙලා කරගෙන ගියා.

අද ඒ සියල්ලන්ටම අවබෝධ වෙනවා ඇති අවුරුදු හතකට පස්සේ දැන් ඇත්තටම රාජපක්ෂලා කියන්නේ හොර නඩයක් මිසක්, වැදගත් දේශපාලන ක්‍රියාවලියක රටට ආදරය දේශපාලන ක්‍රියාවලියක, දේශප්‍රේමීයත්වයක, රණවිරුවන් වෙනුවෙන් හෝ රට වෙනුවෙන් කරපු පිරිසක් නොවන බව. ඒ බව ඔවුන්ට ඡන්දය දීපු පිරිසටත්, සියලුම ඇත්තන්ටත් දැන් වැටහී ගොස් හමාරයි.

 

එදා අප කළ අරගලය දැන් තවදුරටත් ඡන්දය නොදුන් ජනතාව අතරේත් යුක්ති යුක්ත වෙලා තිබෙන බව ඉතාම පැහැදිලියි. මේ රටේ සාමාන්‍ය ජනතාව, දේශපාලනයෙන් තොරව නැගී සිටියා. ඒ නැගී හිටීමේ ප්‍රතිඵලයක් ලෙස හැටියට  තවදුරටත් මේ පවුල්වාදී දේශපාලනය, තාත්තාගෙන් පුතාට අම්මගෙන් දුවට ගලා එන මේ දේශපාලනය වෙනුවට කුසලතා වාදය මත පදනම් වෙච්ච දේශපාලනයකට මේ රටේ ජනතාව ඉල්ලන ඒ ක්‍රියාමාර්ගය ගත යුතුයි. ඒ නිසා මේ අරගලය නොනවතින අරගලයක් සේ ඉදිරියට ගෙනියන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. "

 

නීතිඥ ප්‍රජාවට ගෞරවය !


විශේෂයෙන්ම ඉතා අභීතව මේ රටේ අවිනීතියට එරෙහිව නැගී සිටීම ගැන නීතිඥ ප්‍රජාවට තම ගෞරවය හිමිවන බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.
"කූඹියෝ, ටෙලි නාට්‍යය වගේ පිරිස විසිරී ගියාට පස්සේ මිරිහානේ බස් ගිනි ගත්තා. ජීප් ගිනි ගත්තා. ඒවා ඒවාට සම්බන්ධ වෙච්ච පිරිස් කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ.

ඒ වගේම එය පදනම් කරගෙන රටපුරා හදිසි නීතිය ඇඳිරි නීතිය පැනෙව්වා. ඊළඟට මාධ්‍ය සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා ඉන්දියන් හමුදාව ගොඩ බැස්සාය කියලා වාර්තාවක් ඇති කළා. ඒ වාර්තාව කරපු කිසි කෙනෙක් මේ වනතෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ.

නමුත් ගෝඨා ගෝ හෝම් වගේ වෙබ් අඩවිවල ව්‍යාප්ති කරපු අයව නම් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න ඇතැම් සී අයි ඩී නිලධාරීන්ට හැකි වුණා."

 

මේ සියල්ලම නාට්‍යවලින් බලය පවත්වාගෙන යාම සඳහා දරන උත්සාහයන් බව රණවක පෙන්වා දෙයි. මහින්ද රාජපක්ෂ ගේ මනස තමන්ට හොඳින් කියවිය හැකි බව හෙතෙම පවසයි. ඉන් කියවෙන්නේ මෙම විරෝධය ක්‍රමයෙන් පහව යනු ඇති බවය. ඉන්දියන් තෙල් ටිකක් පැමිණීමෙන් විදුලි කප්පාදුව අඩුවීමෙන් මේ විරෝධය පහව යනු ඇතැයි අගමැතිවරයා කල්පනා කරයි.

 

''ඩොලර් 250,000 ක් සොරකම් කළ බව ඥාති සොයුරා ඇමරිකානු අධිකරණයකදී පිළිඅරන්


"එදා හොරු කියලා කිව්වහම ඒවා දේශපාලන පලිගැනීම් කියලා කිව්වා. එහෙම කියපු ප්‍රධාන චරිතයක් තමයි ජාලිය වික්‍රමසූරිය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඥාති සහෝදරයා. ඔහු අපට එරෙහිව උපාලි අබේරත්න කොමිසම ඉදිරියට ගිහිල්ලා, ජනාධිපති කොමිසම ඉදිරියට ගිහිල්ලා කිව්වා මගේ අතින් කිසිම හොරකමක් වුන්නෑ. මම මෙයට පාදක වුණේ මගේ රාජපක්ෂ පවුලට තිබිච්ච ඥාතීත්වය, මේ දේශපාලන පළිගැනීමක් කියලා. ඒ අනුව, ඒ උපාලි අබේරත්න කොමිසම, මා ඇතුළු තවත් විශාල පිරිසකගේ අයිතිය අහිමි කල යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. අද ඒ යෝජනාව මත පදනම් වෙලා ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් තවත් පරීක්ෂණයක් කරගෙන යනවා."

 

නමුත් නීතිය ක්‍රියාත්මක වන රටක් වන අමෙරිකා එක්සත් ජනපදයේ දී දැන් ජාලිය වික්‍රමසූරිය තමන් ඩොලර් 250,000 ක් සොරකම් කළ බව පිළිගෙන තිබේ. සත්‍යය මෙයයි. එදා තමන් නැගූ චෝදනා කිසිවක් අසත්‍ය නොවන බව ද රණවක පෙන්වා දෙයි.

 

"තවත් අති විශාල චෝදනා ප්‍රමාණයක් විභාග කරවීමට එවකට හිටපු පාලනය කටයුතු කළේ නැති බවත් කණගාටුවෙන් කියන්න ඕනේ ඒ ජනමතයට එරෙහිව. ඒ නිසා මේ රට කොල්ල කා අපිව පෝලිම් වල තියලා, රට විදුලියේ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවා නැතිව අපිව අඳුරේ තියලා තියෙන්නේ. රට කොල්ලකාපු මේ රාජපක්ෂලාගේ කොල්ලකාරී පියවර නිසයි.

අරගලය නොනැවතී ඉදිරියට යාමේ දී සුවිශේෂී වගකීමක් පාර්ලිමේන්තුවට පැවරෙයි. ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ය. රාජපක්ෂ පවුල පමණක් නොව ඔවුන්ගේ ගජමිතුරු ජාවාරම්කාර පැලැන්තියත්, මේ වංචාවන්ට හවුල් වූ නිලධාරී පැලැන්තියත් වෙනුවට කුසලතා පූර්ණ පුද්ගලයන්ට රට භාර දෙන යුගයට යාමට අප මේ අරගලය භාවිතා කළ යුතුය.

එහෙයින් මින් නොනැවතී මේ සුබ දිනයේ අලුත්, නොනවතින අරගලයකට ජනාධිපති, අගමැති, ඇතුළු රාජපක්ෂලා ගෙදර යන තෙක්, ඔවුන් විසින් කොල්ලකන ධනය නැවත මේ රටට ගෙනැවිත් රටට යුක්තිය ඉටුවන තෙක්, ඒ අරගලය ඉදිරියට ගෙන යන්නැයි පක්ෂ, පාට භේදයෙන් තොරව සියලුම ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේය.


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image