රට තුළ පවතින වත්මන් අර්බුදය විසඳා ගත හැක්කේ ජනතා විශ්වාසය තිබෙන පාලනයක් ගොඩනැගීමෙන්

පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

  ඔහු එබව කියා සිටියේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා මෙසේද සඳහන් කළේය.

“ පසුගිය කාලය පුරාම ආණ්ඩුව දියත් කළ ක්‍රියාදාමය දෙස ජනතාව ඉවසිමෙන්, වේදනාවෙන් කෝපයෙන් බලාගෙන සිටියා.

ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහුගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ජීවිත බුක්ති විඳි සුඛ විහරණය දශමයකින්වත් අඩු කළේ නැහැ. මහජනයාගේ දේපළ හොරකම් කරන එක නතර කළේ නැහැ. අධිකරණය ඉදිරියේ විභාග වන වංචනිකයන්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීම නතර කළේ නැහැ. අපේ රටේ පරිසර පද්ධතිය, ජාතික සම්පත්වලට කළ විනාශය අත්හැරියේ නැහැ.

ගෝඨාභයගේ පවුලේ දේපළ වගේ කෙරවලපිටිය බලාගාරය, කොළඹ වරායේ බටහිර ජැටිය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණුවා. මේවා දිහා ජනතාව කැකෑරෙන වේදනාවෙන් කැකෑරෙන කෝපයකින් බලාගෙන හිටියා.

277672196 691715315597015 2213433801891970531 n

අනතුරුව මේවාට එරෙහිව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී විරෝධය පළ කරන්න පටන් ගත්තා. විරෝධය ප්‍රකාශ කිරීමට දරුවන් වඩාගෙන, පුවරුවක් අරගෙන පෙළ ගැහුණා. එහෙත් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. මේ නිසා විශාල ආවේගයක් බවට පත්වෙලා විශාල ජනතා නැගිටීමක් සිදුවී තිබෙනවා.

රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වෙලා. නගරබද විශාල තදබදයන්, ජනතාවගේ උද්ඝෝෂණයන් ඇවිලෙමින් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට දහස් සංඛ්‍යාත ජනතාවක් නිවස වටලලා තිබෙනවා. 

  
දඹුල්ලේ ජනක බණ්ඩාරගේ නිවස වටළලා තිබෙනවා. නිමල් ලංසාගේ නිවස වැටළීමකට භාජනය කළා.


රටට කරන අපරාධ උහුලාගෙන හිටපු ජනතාව මේ වංචනිකයන් එළවා දැමීම සඳහා පෙරට ඇවිත් ඉන්නවා. ඔවුන්ගේ අරගලයට අපි අපේ පැත්තෙන් උපරිම මැදිහත්වීම සහ දායකත්වය ලබාදෙන්න ලැහැස්තියි.



ඒවගේම උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ආණ්ඩුව මර්දන නීති ගෙනත් තිබෙනවා. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළා. එය නොතකා මහජනතාව පාරට බැස්සා. ගෝඨාභය රාජපක්‍ෂගේ නීති, ගැසට් නිවේදන හිස් කඩදාසි බවට පත්වෙලා ඉවරයි.

ගෝඨාභය රාජපක්‍ෂගේ අත්සනින් නිකුත් වන නියෝගයක්, නීතියක්, නිවේදනයක් බලාත්මක වෙන්නේ නැහැ. අත්තනෝමතික මර්දනයන්ට එරෙහිව අපේ පක්‍ෂයත් මහරගම ඇතුළු ස්ථාන ගණනාවක හඬ නැගුවා. පුරවැසියන් එවැනි මර්දන නීතිවලින් අඩපණ කරන්න බැහැ.


අලුත් විගඩම්කාරී නාටකයක් !

ඊයේ (03) රාත්‍රියේ සිට අලුත් විගඩම්කාරී නාටකයක් දියත් කර තිබෙනවා. ඒ තමයි ඇමතිවරු අස්වීම. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ සුව සේ එම තනතුරු තමන්ගේ අතේ තියාගෙන ඇමතිවරු අස්වෙනවා.

ඒක මොන තරම් නාටකයක්ද කියනවා නම් ඊයේ රාත්‍රී 12ට ජොන්ස්ටන් ප්‍රනාන්දු අස්වෙනවා. අද දවල් 12 වෙන්න පෙර නැවත පත්වෙනවා. ඔහු මහා මාර්ග ඇමති.ජී.එල් පීරිස් විදේශ ඇමති. දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමති. අලි සබ්රි විතරක් ටිකක් වෙනස් වෙලා තිබෙනවා.



ජනතාවගේ විරෝධයේ ස්වභාවය, ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු අවබෝධයක් නැති නායකයෙක්. ඊට පස්සේ නිවේදනයක් නිකුත් කරමින් ආර්ථික හා ගෝලීය සාධක හේතුවෙන් අර්බුදයක් ඇතිවී ඇති බව සඳහන් කරනවා.


මහ බැංකුව සතුව තිබුණු ඩොලර් විශාල ප්‍රමාණයක් නාස්ති කළා. තමන්ගේ ගජ මිතුරන්ට හම්බ කර ගන්න දුන්නා. ජාතික නිෂ්පාදිතයෙන් විශාල කොටසක් නියෝජනය කරන කෘෂිකර්මාන්තය කඩා වැටීමට ඉඩ හැර රසායනික පොහොර නතර කළා. ඒවා ගෝලීය අර්බුද බවට පත්වෙන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්‍ෂ ඇතුලු ත්‍රාඩ කණ්ඩායමක් පසුගිය අවුරුදු කිහිපය තුළ අනුගමනය කළ ප්‍රතිපත්තිමය තීරණ මේ විනාශයට හේතු වුණා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ අඩුම තරමින් මේ අර්බුදය හට ගත්තේ කොහොමද, මේ අර්බුදය මොන වගේද කියලාවත් හැඟීමක් දැනීමක් නැති බවයි මේ නිවේදනයෙන් පෙන්නුම් කරන්නේ.

ඔහු තව දුරටත් කියනවා, අමාත්‍ය ධූර බාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සොයන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවලට ආරාධනා කරනවා. අනෙක් පක්‍ෂවල මන්ත්‍රීවරුන්ට ඇමතිධුර ලබාගන්න මාධ්‍ය නිවේදනවලින් ආරාධනා කරනවා.

මෙතන තියෙන්නේ අමාත්‍යධුර පිළිබඳ ප්‍රශ්නයක්ද? ආණ්ඩු පක්‍ෂය තුළ කෝකටත් නගුට වනන පිරිස වගේ ඇමති ධුර දීලා පාලනය කරගන්න ඔහු කල්පනා කරනවා ඇති. ගෝඨාභය රාජපක්‍ෂගේ මේ යෝජනවා අපි මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා. ගෝඨාභය රාජපක්‍ෂට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමේ යුක්තිසහගත අයිතියක් මේ වෙලාවේ නැහැ. රට පුරා දස දහස් සංඛ්‍යාත ජනතාවක් “ගෝඨාභය උඹ පලයන්” කියලා කියන්නේ. එහෙම කියනකොට අපට ලියුම් එවනවා.


යෝජනා කරන්නේ අන්තර් කාලීන ආණ්ඩුවක් හදන්න, ඇමතිධුර බාරගන්න. මෙතන තියෙන්නේ ඇමතිධුර බාරගන්න ප්‍රශ්නයක් නෙවෙයි. ජනතාව මිරිහානේ ගෙදර වටළන්නේ තව කාට හරි ඇමතිධුරයක් දෙන්න කියලා නෙවෙයි. කාල්ටන් වටලන්නෙත් එහෙමයි. අනිකුත් අයගේ නිවාස වටලන්නේ ඒ ඉල්ලීමෙන් නෙවෙයි.

මේ වගේ යෝජනාවන් දැක්කාම ඔහුට මානසික ආබාධයක් තිබෙනවාද කියලා හිතෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මේ නාටකය රඟ දක්වන්නේ අපේ රටේ පුරවැසියන් එක්ක. අපේ රටේ පොදු ජනතාවගේ ජීවිතත් එක්ක අපේ රටේ ආර්ථිකයත් එක්ක මෙවැනි නාටකවලට රටේ පුරවැසියන් තව දුරටත් ඉඩනොදිය යුතුයි.

මේ පාලකයන් පළවා හැරීම සඳහා අරගල තවදුරටත් ඉදිරියට ගෙනයා යුතුයි. ඉන් පසුව පිහිටුවන යාන්ත්‍රණය ගැන අපි සලකා බලමු. මේ රටමුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ එන්න ජනතාවගේ විශ්වාසය සහිත පාලනයක් ගොඩනැගීමෙන් තොරව බැහැ.


මේ පාලකයන් පළවා හරිනවා වගේම ජනතාවට විශ්වාසවන්ත පාලනයක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. එසේ නොකර මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඉල්ලා අස්වීමෙන් පිළිතුරු ලැබෙන්නේත් නැහැ.


අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වෙලා. ඉල්ලා අස්වුණාම ඔහු ශුද්ධවන්තයෙක් වෙනවාද? මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අපේ රටේ මූල්‍ය පාලනය කරන්න මූලික වගකීමක් තිබුණා. ඒ මූලික වගකීම අත්හැරියා. මේ ආර්ථිකය මෙතරම් විපතට පත්කළ අමනෝඥ, මෝඩ තීන්දු ක්‍රියාත්මක කර තමන්ගේ ගජ මිතුරන්ට වාසි ලබාදුන් කෙනෙකුට සුදනා වගේ බැහැලා යන්න පුළුවන්ද?

එහෙම බැහැලා යන්න දෙන්න බැහැ. රුපියල් කෝටි 8,000ක් පාඩු කළ හෙජින් ගනුදෙනුවේ අජිත් නිවාඩ් කබ්රාල්. 2008 – 2015 කාලය තුළ බැඳුම්කර මිලදී ගැනීමේ වංචාව කෝටි 1500ක් බව හෙළිවී තිබෙනවා. ග්‍රීසියේ බැඳුම්කරවලට ඩොලර් මිලියන 52ක් යෙදවූවා. සතේකවත් ප්‍රතිලාභ නැහැ.

ඇමරිකාවේ අවුරුදු 12කට සිර දඩුවම් ලබන සී.අයි.ඒ නියෝජිතයාට ලංකාව ගැන ඇමරිකාවේ ප්‍රවර්ධනය කරන්න ඩොලර් මිලියන 6.5ක් ලබාදී තිබුණා. කිසිම දෙයක් කරලා නැහැ.

2008 – 2012 දක්වා සේවක අර්ථසාධක අරමුදලේ කෝටි ගණන් කොටස් වෙළඳපොළේ සූදු කෙලින්න යොදා ගත්තා. ඒ නිසා ඉල්ලා අස්වෙලා සුදනෝ වගේ ඉන්න බැහැ.



277680129 284790867140418 852183226312099952 nමේ පාලකයන් පළවා හරිනවා වගේම දෙපැත්ත මාරුවෙන් මාරුවට අපේ රට මේ ව්‍යසනයට පත්කිරීම සඳහා මංකොල්ල කෑ හොරකම් කළ දේවල් යළි පවරා ගන්න කියලා ඉල්ලීමක් තියෙනවා.

ගෝඨාභයගේ ඉල්ලීමකින් ගේන විකාරරූපී නාටකයට හවුල් නොවෙනවා වගේම මහජනතාවගේ හඬ වී තිබෙන ආණ්ඩුව පළවා හැරීමත් වෙනුවෙන් අපි ක්‍රියා කරනවා. මේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් යටතේ අන්තර්වාර, සර්ව පාක්‍ෂික කිසිදු ආණ්ඩුවක් තව දුරටත් වලංගු නැහැ.


සෑම තරාතිරමකම පුරවැසියන් ලක්‍ෂ සංඛ්‍යාත වශයෙන් අපේ රටේ සෑම තැනම පාරට බැහැලා කියන්නේ ගෝඨාභයට ගෙදර යන්න කියලා. ඒ වගේම හොරකම් කළ ධනය අත්පත් කර ගන්න කියලා. ඒවගේම දීර්ඝ කාලයක් අනුගමනය කළ ආර්ථික ක්‍රියාදාමය වෙනස් කරන්න කියලා.



ඒ වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබා දෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ගෙනඑන විගඩම් නවත්වන්න කියලා අවධාරණය කරනවා. රටේ ජනතාවට මුහුණ නොදෙන ජනාධිපතිවරයෙක් රටක් පාලනය කරන්න ඕනෑද? ජනතාව වෙනුවෙන් වගකීම් දරන භූමිකාවෙන් ඔහු පැන ගිහින් ඉවරයි.

දැන් ඉතිරි වී තිබෙන්නේ ව්‍යවස්ථානුකූල පලවා හැරීම විතරයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන්නෙ ඉන් පසුව ජනතාවට විශ්වාසවන්ත පාලනයක් පිහිටුවා ගැනීමෙන් පමණයි.”



''මේ පාලකයින් ඉවත් විය යුතුයි.''

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජවිපෙ නායකයා මෙසේද පැවසිය.

“අපි කියන්නේ මේ පාලකයින් ඉවත් විය යුතුයි. ඔවුන් පුටුවල රඳවා ගනිමින් කෙටි කාලීන විසඳුම් හෝ අන්තර්කාලීන විසඳුම් හෝ විවිධ අටමගල් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පලක් නැහැ. ඔවුන් ඉවත් වීමට සූදානම් නම් එතැනින් පසුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අපට සාකච්ඡා කර ගත හැකියි.

ඒ සාකච්ඡාව සිදු වන්නේ මේ රටේ ජනතාව සමගයි. ඒ හැරෙන්නට අතරමැදි සාකච්ඡාවක් නැහැ. ආණ්ඩුව සමග එවැනි සාකච්ඡාවක් දැන් අදාළ වන්නේ නැහැ. ඒ සියල්ල පසුවී අවසන්.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, 20 අහෝසි කර 19වැනි සංශෝධනය නැවත ගෙන ඒම, ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම වැනි දේ මීට මාස 7-8කට පෙර තිබූ සාකච්ඡාවනුයි. දැන් ඒ අවදිය පසුකර තිබෙනවා. දැන් තිබෙන්නේ මේ පාලනය ඉවත් කිරීමේ අවදියයි.



සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස මේ අර්බුදයේ නිර්මාපකයින් මිස මෙහි විසඳුම නෙමෙයි. ඔවුන් මේ රටේ හොරකමට, මහජන දේපළ නාස්තියට, ආර්ථික විනාශයට විසඳුමක් නෙමෙයි. නීතියේ විධානය ස්ථාපිත කිරීමට, දරුවන්ගේ අනාගතය ස්ථාපිත කිරීමට ඔවුන් විසඳුමක් නෙමෙයි.

මේ පෙළගැසෙමින් එන ක්‍රියාදාමය යහපත් දිශාවකට පරිවර්තනය කරගැනීම සඳහා දූෂණයෙන්, වංචාවෙන් තොර, හොරකමින් අත්පත් කරගන්නා ලද දේපළ පවරා ගැනීමටත්, මහජන දේපළ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීමට සමත් ආර්ථික සැලසුමක් සහිත, ආර්ථිකයේ ඵල ජනතාවට ලබා දීම සඳහා සැලසුමක් සැදිය හැකි කාර්යක්ෂම ආර්ථික ක්‍රමවේදයක් සකස් කරන පාලනයක් බිහි කර ගත යුතුයි.

කාණුව දිගේ ඔටුන්න ගසා ගෙන ඇවිත් ඔටුන්න ඔළුවට වැටෙන අන්දමේ සජිත් බලගෙන හිටින උත්තර මෙම අර්බුදයට නැහැ. මේ දේශපාලන සුළියේම ගිලී යනු හැරෙන්නට ඔහුට වෙනත් ඉරණමක් නැහැ.



1998 සිට බැලුවොත් මේ අවුරුදු 24 ඇතුළත ආණ්ඩුවේ ඉදිකිරීම් වියදම්වලින් 35%ක් වියදම් කර තිබෙන්නේ පාරවල් වෙනුවෙනුයි. එහෙත් ඒ වෙනුවෙන් වියදම් කරන ලද ධනස්කන්ධයට වඩා වැඩි මුදලක් තිබෙන්නේ ඒ පාරවල් භාරව සිටි දේශපාලකයින් සතුවයි. ඒ කිරිඇල්ල, ජොන්ස්ටන් විය හැකියි.

මහින්ද රාජපක්ෂ 2014 වන තෙක් එම ඇමතිකම කාටවත් දුන්නේ නැහැ. දැනුත් තත්වය එයම තමයි. ජොන්ස්ටන් නම් දෙපැත්තටම විශ්වාස කෙනාට ඒ ඇමතිකම දී තිබෙන්නේ මේ තත්වය නිසයි.

ඡන්දයක් දක්වා ගමන් කරන යාන්ත්‍රණය අපට පසුව කතාබහ කර ගත හැකියි. දැන් ප්‍රධානම කරුණ වන්නේ මේ පාලනය ඉවත් කර දැමීමයි. මේ නායකයා ඉවත් විය යුතුයි. ඔවුන් දැනට එවැනි අදහසක නොසිටිනවා විය හැකියි. නමුත් අපි කිසිවෙක් මීට මාසයකට පෙර දැන් ඇතිවී තිබෙන ආකාරයේ සිදුවීම් අපේක්ෂා කළේ නැහැ.

කාල්ටන් වටලාවි යැයි, ඇමතිවරුන්ගේ නිවාස වටලනු ඇතැයි, ඇඳිරි නීතිය කඩ නොකරනු ඇතැයි මිනිසුන් සිතුවා. නමුත් ඒ සියල්ල වෙනස් වී තිබෙනවා. දැන් ඔවුන් ඉවත් නොවන බවට ස්ථාවරයක සිටියත් නොසිතූ දේවල් දවස් දෙක තුනක් ඇතුළතදී සිදුවෙමින් තිබෙනවා. දේශපාලන වෙනස්කම් සිදුවන්නේ පිමි ලෙසයි. ඒ නිසා ඔවුන්ගේ ස්ථාවරයන් ටික දිනකදී වෙනස් විය හැකියි.

 

පාර්ලිමේන්තුවේ ඔළු මාරු කිරීමකින් හෝ වෙනත් අටවා ගන්නා ආණ්ඩුවකට අපි කිසිසේත් සම්බන්ධ වන්නේ නැහැ. මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා ජනතාවගේ කැමැත්ත, විශ්වාසය, බලාපොරොත්තු සහිත පාලනයක් ගොඩනගා ගත යුතුයි. ඊයේ තිබූ තත්වයට වඩා අද වෙනස් අයුරින්ම අද තිබෙන තත්වය හෙට වෙනස් වෙනවා.

 


පාලනයන් වෙනස් කිරීම සඳහා, නව පාලනයක් පිහිටුවීම සඳහා රට පුරා විසිරී සිටින ජනතාව එකාවන්ව නැගිටිනවානම් එය දේශපාලනයේ නව පිබිදීමක් වනවා. රටේ පුරවැසියන්ගේ නැගිටීම දෙස අපි සුබවාදීව බලනවා. අපි පසුගිය කාලය පුරාවටම මේ පිළිබඳව අපේක්ෂාවෙන් සිටියා.

අපි ජාතික ජන බලවේගය ගොඩනැගුවේම බලය අත්පත් කරගැනීමේ අරමුණින්.

අපේ රට වසර 74ක් විනාශ කර තිබෙනවා. රටේ ආර්ථිකය පතුලටම කඩා වට්ටවා තිබෙනවා. ධනය ඇති හා නැති අය වෙනුවෙන්, බලය ඇති හා නැති අයට නීති දෙකක් තිබෙනවා. නීතිය කඩා වට්ටවා තිබෙනවා. ඉඩම් බහුජාතික සමාගම් වෙත පවරා දෙමින් තිබෙනවා. පරිසර පද්ධතිය විනාශ කර තිබෙනවා. මහජනයාගේ ධනය කෝටි ගණනින් ඔවුන්ගේ නිවෙස්වල ගොඩගසා ගත්තා. ජාතික සම්පත් අපට අහිමි කර තිබෙනවා.

අපි දේශපාලනය කරන්නේ දීර්ඝ කාලයක් පුරා රට අනුගමනය කරන ලද වැරදි ආර්ථික උපායමාර්ගයත්. දේශපාලන සංස්කෘතියත් වෙනස් කිරීම වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් බලය ලබා ගැනීමට අපි සූදානම්.

ඒ වෙනුවෙන් අවංකභාවය, අදූෂිතභාවය, රටේ පුරවැසියන්ට අසීමිත ලෙස ආදරය කිරීම, රට ගොඩනැගීම වෙනුවෙන් අසීමිත ලෙස ධෛර්යය තිබීම, ඒ සඳහා ඥානය අත්දැකීම්, වුවමනාව සහිත විශාල කණ්ඩායමක් අප සතුව සිටිනවා. අන් සියලු කණ්ඩායම්වලට වඩා ඒ හැකියාවන් අප සතු බව අපි දන්නවා.


ආණ්ඩුව ලබාගත් ණය 1998 ඉඳලා වැඩිපුරම යොදවලා තියෙන්නේ පාරවල් හදන්න. 35%ක් පමණ ණය පාරවල් අස්සේ හංගලා තියෙන්නේ. මේ වැඩිප්‍රමාණයක් කිරිඇල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද රාජක්‍ෂ කියන මහාමාර්ග ඇමතිවරුන් ළඟ තියෙන්න පුළුවන්. අදටත් අයවැය ලේඛනයෙන් විශාල මුදලක් වැය කරන්නේ පාරවල්වලට. ඔය දෙපැතත්තටම ඉතාමත් විශ්වාසවන්ත කෙනෙක් ජොන්ස්ටන්. ඒ නිසයි ඔහුට මහාමාර්ග අමාත්‍යාංශය යළි ලබාදී තිබෙන්නේ.

 


මෙවැනි තත්වයක් යටතේ බලවත් රාජ්‍යයන්ට තමන්ගේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍රයන් ඇතුල් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සාමකාමී ලෙස ආණ්ඩු පවත්වාගෙන යන කාලවලදීත් තිබෙනවා. ඒක යථාර්ථයක්. නමුත් බලවත් රාජ්‍යයන් පවා ජනතා නැගිටීම් කොතරම් ප්‍රබලද කියන එක තේරුම් ගත යුතු වෙනවා.

පසුගිය කාලයේ මහජන නැගිටීම් බලවත් රාජ්‍යයන් හරහා සිදුවු බව අපි දැක්කා. අපේ රටේ ඉතා පැහැදිලිවම ජනතාවගේ වේදනාව, විරෝධය සහ කෝපය ප්‍රකාශයට පත් කරන්න රැලි පිට රැලි නගිමින් ඉදිරියට එනවා. මෙතැන බාහිර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කර ගන්න කිසිවෙකුට ඉඩක් නැහැ.

අපේ රටට බලවත් රාජ්‍ය විසින් කර තිබෙන අනවශ්‍ය අත පෙවීම් ඉවත් කර, දේශීය හොර නඩය විසින් අපේ රටට අත්කර දී තිබෙන විනාශය යන දෙකෙන්ම මිදීම සඳහා තිබෙන හොඳම අවස්ථාව මේක.”

 

 


The Leader TV අද වීඩියෝ 

 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්