ප්‍රායෝගික නොවන බලලෝභී ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් රට වෙනුවෙන් වූ අවම පොදු වැඩ පිළිවෙලක් සහිත එකඟත්වයකට යොමුවීම සියළුම දේශපාලන

පක්ෂවල වගකීම බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති හිටපු කතානායක එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

වර්තමානයේ රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයට විසඳුම ලෙස තම ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ සියළුම දේශපාලන පක්ෂවලට ඇරයුම් කර තිබේ.

රට මුහුණ දී ඇති අර්බුදයේ දැවැන්ත ගැඹුර සැලකීමේදීත්, රටේ ජනතාව එක හඬින් ඉල්ලා සිටින ප්‍රධානතම කරුණ ගැන අවධානය යොමු කිරීමේදීත් එය පළදායක නොවන බලලෝභී ඉල්ලීමක් බව පවසන කරු ජයසුරිය, මේ මොහොතේ අන් සියල්ලටම පෙර මේ රටේ සාතිශය බහුතර ජනතාවගේ ඉල්ලීමට සාවධානව ඇහුම්කන් දෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

 

එමෙන්ම රට මුහුණ දෙමින් සිටින අර්බුදයේ ගැඹුර මැනවින් තේරුම් ගනිමින් එම තත්ත්වය හමුවේ රට අරාජික වීම වැලැක්වීම සඳහා නොපමාව පොදු සම්මුතියකට එළඹෙන ලෙසට හිටපු කතානායකවරයා, සිය නිවේදනය මගින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ නායකයන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.

 

එකී සම්මුතිය හුදු සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් හෝ මේ රටේ එක්තරා සීමිත පවුල් කණ්ඩායමක පාලනයක් වෙනුවෙන් නොවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

 පළමුව රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදය සමහන් කරගනිමින් ඒ සමඟම නොපමාවම රාජ්‍යයේ හා ආණ්ඩුකරනයේ මූලික ප්‍රතිසංස්කරණ  සඳහා වන වැඩපිළිවෙලක් වෙනුවෙන් එකී සම්මුති ගත වීම සිදුවිය යුතුව ඇතැයි යන්න තම සංවිධානයේ බලවත් විශ්වාසය බව කරු ජයසුරිය පවසයි.


පළමු පියවර  : තාවකාලික භාරකාර ආණ්ඩුවක්


පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ වල සහභාගිත්වයෙන් හෝ එකඟත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කලොචිතබව කරු ජයසුරිය අවධාරණය කර සිටියි.

 

එම භාරකාර රජයේ ප්‍රථම කාර්යය විය යුත්තේ රටේ ව්‍යාවස්ථාදායකය දුර්වල කරමින් හා අකර්මණ්‍ය කරමින් එක් පුද්ගලයෙක් වෙත අසීමිත බලතල කේන්ද්‍ර කරගෙන ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හා එමෙන්ම 19වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයෙහි හඳුනාගෙන ඇති දුර්වලතා ඉවත් කරමින් එහි මූලික පදනම මත ගොඩනැගෙන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යොමු වීම බව හිටපු කතානායකවරයා පෙන්වා දෙයි.

 

දෙවන පියවර -  ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම


අනතුරුව සිදුවිය යුතු කඩිනම් පියවර විය යුත්තේ රට මුහුණ දී ඇති ගෙවුම්ශේෂ අර්බුදය හා එය හේතුවක් ද කරගනිමින් පැන නැගී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා දේශීය හා විදේශීය විශේෂඥ වරුන්ගේ හා විශේෂඥ ආයතනයන්හි සහයෝගය ලබා ගනිමින් නිසි විසදුම් සපයා ගැනීම බවත්,  පැහැදිළිවම ඒ සඳහා යොදාගත යුතුව ඇති නිශ්චිත වැඩ පිළිවෙල හා කාලරාමුව රට හමුවේ ප්‍රකාශ කිරීම එහිදී අතිශයින්ම වැදගත් කරු ජයසුරිය පවසයි.


තෙවන පියවර - ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක්


එහි තෙවන පියවර විය යුත්තේ භාරකාර රජය බලයට පත්වීමෙන් මාස 18ක කාලයක් සම්පූර්ණ වීමට පෙර රටේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උදෙසා යොමු වීම බව හිටපු කතානායකවරයා කියා සිටියි.

එහිදී මූලික වගකීම වනු ඇත්තේ අසීමිත හා අත්තනෝමතික විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය පදනම් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතා පරමාධිපත්‍යය, රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය හා ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම බව එම නිවේදනයේ සඳහන් වේ.

 

''භාරකාර රජයේ මූලික වගකීම හා කාර්යභාරය එපමණකට සීමාවිය යුතුව ඇතැයි යන්න අප සංවිධානයේ ස්ථාවරය වන අතර, එය සම්පූර්ණ කිරීමත් සමඟ නව රජයක් බිහිකර ගැනීම උදෙසා රටේ පුරවැසියන්ට අවස්ථාව ලබාදෙමින් වහාම මහ මැතිවරණයකට යොමු විය යුතුව තිබේ.

 

එමගින් රටේ ජනතාව මුහුණ දෙමින් සිටින අනේකවිධ දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා වන මාවතකට යොමු වීම මෙන්ම රටේ යහපැවැත්ම උදෙසා අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතුව ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවම වැඩපිළිවෙලක් සහිත පොදු එකඟත්වයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවද කරු ජයසුරිය පෙන්වා දෙයි.

එමෙන්ම මෙම යෝජනාවට පදනම් වූ කරුණු මුල් කරගනිමින් ඒ ඒ දේශපාලන පක්ෂ යෝජනා කරන අදහස් හා යෝජනා ද රටට ඉදිරිපත් කරමින් මේ රටට ආදරය කරන, රටේ මතු අනාගත පරපුරේ යහපත හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන සියළුම බලවේග නොපමාව පෙරට ආ යුතුව ඇතැයි යන්න තම සංවිධානයේ  ඒකායන අපේක්ෂා බවද හිටපු කතානායකවරයා වැඩිදුරටත් කියා සිටියි.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්