දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර දින 05කට පසුව ඊයේ (අප්‍රේල් 05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක

වන පරිදි හදිසි නීතීය අවලංගු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2022 අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි නීතිය පනවමින් ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත යටතේ තමාට ලැබී ඇති බලතල අනුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදි. එහෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එය අවලංගු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.



රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් , මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව හදිසි නීතීය බලාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කළේය.


"හදිසි නීතියට පර්ලිමේන්තු අනුමැති අවශයයි."


දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ඊයේ  (05) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් සඳහන් කළේ හදිසි නීතීය පැනවීම සම්බන්ධයෙන් දැනුම්දීමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මොහොතක හැකි ඉක්මනින්ම එහා අනුමත කළ යුතු බවයි.
ඔහු රජයට දන්වා සිටියේ එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව අනුමත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා එම නිවේදනය බදාදා (6) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි දැන් වුවද ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි නීතිය ප්‍රකාශ කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් තැබිය හැකියි," මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

හදිසි නීතිය පැනවීමෙන් රටේ ජනතාව තව තවත් පීඩනයට පත්වන අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයට යොමු යොමු වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ එවැනි පසුබිමක් තුළය.

 

මේවන විට ආණ්ඩුවට සහය දැක්වු මන්ත්‍රීවරුන් 42 ක් පාර්ලිමේන්තුව තුළ ස්වාධින වීමට තීරණය කර ඇති අතර මෙතෙක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවකයේ සහය හිමිව තිබූ රජයට සාමාන්‍ය බහුතරයද අහිමිවී ඇති තත්ත්වයකට මුහුණදී ඇති බවට දේශපාලන විචාරකයන් පවසයි.

 

හදිසි අවස්ථා තත්වය යනු කුමක්ද ?


හදිසි අවස්ථාව යන්න මහජන ආරක්ෂක පනතෙහි විස්තර කෙරෙන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරිමට සාමාන්‍ය තත්ත්වයන් හීදී ලබාදෙනු නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙසම පවතින තත්ත්වයක් ලෙසය.

මෙවැනි තත්ත්වයකදී, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සහතික කිරිම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම පිණිස ජනාධිපතිවරයාට ඉඩ ලැබේ.


හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය ලැබෙන්නේ කොහේ සිටද සහ එම තත්ත්වය ප්‍රකාශයට පත්කළ හැක්කේ කවුරුන් හටද?



නිවේදනයක් මඟින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනිකර වූ අභිමතානුසාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතු ව පවතී.

එම නිවේදනය පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවීම ද කළ යුතුවේ. දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ.

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අධිකරණයකදී අභියෝගයට ලක් කළ නොහැකි වේ. ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි සකස් කිරීමට ඇති බලය ඇතුළු මහජන ආරක්ෂක පනතේ ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක බවට පත්වීම හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම මඟින් සිදුවේ. මෙම රෙගුලාසි මඟින් අනෙක් ඕනෑම නීතියක් අක්‍රිය කළ හැකිවන නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අක්‍රීය කිරීමට ඒවාට නොහැකි වේ.


හදිසි අවස්ථා තත්ත්වයක් කොපමණ කාලයක් පැවතිය හැකිද ?


මාසයක කාලයක් වලංගු වන නිවේදනයක් නිකුත්කිරීමට ජනාධිපතිවරයාට හැකිය. ( මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ඔහුට හැකි වන නමුත් ). දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ. එසේ සිදු නොවුවහොත් නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකිය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියෙනි.


පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි හදිසි අවස්ථා රෙගුලාසි වලින් ඇතිවන බලපෑම කුමක්ද?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන් වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කිරීම් පැනවෙයි.

එම සීමාවන් එමඟින් වැලැක්වීමට බලාපොරොත්තු වන හානියට සමානුපාතික විය යුතු බවට කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නොපවතී. එහිදී වගකිවයුතු ලෙස ක්‍රියා ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම විධායකයේ හොඳ හිත මත පවතින්නකි.



සීමා කරනු ලැබිය හැකි මූලික අයිතිවාසිකම් වනුයේ :


# නිර්දෝෂි බවට වන පූර්ව නිගමනය

# ඔප්පු කිරීමේ භාරය හා ප්‍රතිරෝධනීය දණ්ඩනය

# නීතිය ඉදිරියෙහි සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීම

# අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය නෛතික ක්‍රියාවලිය

# අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ, සමාගම් පැවැත්වීමේ, ගමන් කිරීමේ,රැකියාවේ, ආගමේ සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාළ වන මූලික අයිතිවාසිකම්



හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කළ නොහැක්කේ


# සිතීමේ සහ සහෘද සාක්ෂිය නිදහස

# වධහිංසා පැමිණවීමෙන් නිදහස

# නිසි බලතල සහිත අධිකරණයක් මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය (හදිසි අවස්ථා රෙගුලාසි මඟින් පමුණුවනු ලැබිය හැකි නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම හැරුණු විට )



හදිසි අවස්ථා බලතල වලින් ස්වායත්ත ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) උපයෝගී කොට ගැනීමේ හැකියාව රජය වෙත පවතී. මෙම ත්‍රස්ත විරෝධී බලතල ව්ස්තෘත වන අතර හදිසි අවස්ථා බලතල මෙන් අඛණ්ඩ ලෙස පාර්ලිමේන්තුව අනුමැතිය ලබාගැනීමේ විධිමත් අවශ්‍යතාවයක් ද එම බලතල භාවිතයේදි නොපවතී.


හදිසි අවස්ථාව සාමාන්‍ය පුරවැසියන් හට බලපාන්නේ කෙසේද?


ත්‍රස්තවාදී හෝ කලහකාරී ක්‍රිරියාවන්ට සම්බන්ධ වුවන් හෝ සැකකරුවන් නොවන සාමාන්‍ය පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය, මෙම හදිසි අවස්ථා රෙගුලාසීන් බල පවත්වන විට දී ඒවායේ බලපෑමට ලක්වන ආකාරයන් ගණනාවක් පවතින් බවට නීති විශාරදයන් පෙන්වා දෙයි.


මාධ්‍යවෙත ඇතිකෙරෙන බලපෑම කුමක් ද?


පුරවැසියන් විසින් ප්‍රකාශයට පත්කළ හැකි දේ පිළිබඳව වන සීමා කිරීම් වලටඅමතරව ප්‍රකාශණයන් පිළිබඳව වන පාලනය මගින් මාධ්‍යය වෙත බලපෑමක් ඇතිවිය හැකිය.


(BBC සිංහල සේවය)

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා