රටේ වර්තමාන දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මුල්කොටගත් සමස්ත ආණ්ඩුවම විසුරුවා හැර,

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැඳවා සර්ව පාක්ෂික භාරකාර ආණ්ඩුවක් යටතේ අලුත් ව්‍යවස්ථාවට අනුව මැතිවරණයක් පවත්වන ලෙස යෝජනා වී තිබේ.

නව සමසමාජ පක්ෂය එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට ආණ්ඩුව අසමත් වීමට සහ මර්දනයට එරෙහිව ජනතාව වීදි බැස අරගල ආරම්භ කර තිබීමත් සමගය.  



පවතින අවිනිශ්චිත තත්වය යටතේ 'මාලිගා කුමන්ත්‍රණයක්' යොදාගෙන ජුන්ටාවක් මගින් පාලන බලය පවත්වාගෙන යාමට ආණ්ඩුව වීරිය කරනු ඇති බවට නසසපය අනතුරු අඟවයි.



"ඒ මඟින් වීදි වල ක්‍රියාත්මක ජන බලයට නතුවන විප්ලවකාරී වෙනසක් ඇති වීම වළක්වා, මාලිගා විප්ලවයක් මගින් සමාජ ගැටුම තුලනය කිරීම ඔවුන්ගේ වෑයමයි," යනුවෙන් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් පැවසේ.

නමුත් සමාජයේ පිපිරීම ඇරඹී තිබියදී එය මඟහැර යෑමේ  උත්සාහය සාර්ථක කරගැනීම පහසු දෙයක් නොවනු ඇති බවත් අවධාරණය කරන නව සම සමාජ පක්ෂය, එයට හේතු ලෙස පෙන්වා දෙන්නේ වත්මන් පාලනය විසින් ගෙන ගිය ප්‍රජාතන්ත්‍රීය විරෝධී දේශපාලන, සමාජීය හා ආර්ථික සැලසුම් වල බලහත්කාරී බවට ඇති මාරාන්තික විරුද්ධත්වය, මේ ජනතා පෙලගැස්ම පතුලේ පැවැතීමයි.


තෙවදෑරුම් වැඩ පිළිවෙලක්

එම බලහත්කාරීත්වයට පදනම් වන්නාවූ ව්‍යවස්ථාව නැති භංග කර දැමීම අද දවසේ අත්‍යාවශ්‍ය පළමු කාර්යභාරය බව පෙන්වා දෙන නව සම සමාජ පක්ෂය ඒ වෙනුවෙන් ක්‍රියාවට නැංවිය යුතු පහත සදහන් තෙවදෑරුම් වැඩ පිළිවෙල යෝජනා කර තිබේ.



1. වහාම නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැඳවා, පවතින අත්තනෝමතික බලහත්කාරය පදනම් වන්නාවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතාවගේ ස්වපාලන බලය තහවුරු කරන, එනම් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් මුල්කරගත් රටේ සමස්ත  ජනතාවට  තමන් ජීවත් වන ඒ ඒ භූමි ප්‍රදේශ වලට පොදුවේ බලපාන සමාජ, ආර්ථික හා පරිපාලන තීරණ‍ ගැනීමට හැකිවන ලෙස මධ්‍යගත රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම පදනම්කරගත් නව ව්‍යවස්ථාවක් සම්පාදනයට පියවර ගැනීම,

2. එම කටයුත්තට ඉඩ දී පවතින ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන ජනාධිපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වී ව්‍යවස්ථා සම්පාදනය වන කාලය තුළ ක්‍රියාත්මක වන අන්තර්වාර පාලනයක්, පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියළු දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් ඇති කිරීම,

3. අනතුරුව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වපාලනය මත පදනම් වූ නව ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසීම මඟින් එක්සත් ලංකාවක් බිහිකර ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන මාවතකට යොමු වීම.

මෙම තෙවදෑරුම් ප්‍රාථමික වැඩපිලිවෙල හා සටන්පාඨ මත ඉදිරියට යෑමට සූදානම් වන්නැයි, අත්තනෝමතිකත්වය විසින් මතුකර ඇති දැවැන්ත සමාජ ආර්ථික විනාශයට එරෙහිව සටනට එළඹී සිටින ජනතාවගෙන් මෙන්ම සමස්ත  කම්කරු පංති ව්‍යාපාරයෙන් හා ජනතාවගෙන් නව සම සමාජ පක්ෂය වැඩි දුරටත්  ඉල්ලා සිටී.

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්