ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව මේවනවිට පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම

විසින් වත්මන් අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා වූ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත හෙට (08) දිනයේදී බාරදීමට තීන්දු කර තිබේ.

එම මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් අද පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 7 ශාලාවේ රැස්වී දීර්ඝ සාකච්ජාවකින් පසු මෙම තීරණයට එළඹ ඇත.

පසුගිය අඟහරුවාදා (05) දිනයේ පාර්ලිමේන්තුව තුලදී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශකළ මන්ත්‍රීවරුන් හතලිස් දෙදෙනා (02) මේවනවිට එක කණ්ඩායමක් ලෙස කටයුතු කරයි.

එම මන්ත්‍රී කණ්ඩායමේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි අලුත් අගමැතිවරයකු යටතේ අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා වෙත  යෝජනාවලියේ ප්‍රමුඛතම කාරණය ලෙස අවධාරණය කරනු ඇතැයි පැවසේ.


පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපතිවරයා පැවසුවත්, මේවනවිට මහින්ද රාජපක්ෂට හෝ වෙනත් කිසිඳු මන්ත්‍රීවරයකුට එවැනි සරල බහුතරයක් පෙන්වීමට නොහැකිව තිබේ.


''ආණ්ඩුව ඉවත්වී නව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් ඇති කළ යුතුයි''


මේ අතර පාර්ලිමේන්තුව තුළ ස්වාධින වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසුයේ, අග්‍රාමාත්‍යවරයාගේ සිට ආණ්ඩුව ඉවත්වී නව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් ඇති කළ යුතු බවයි.

තමා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ගැන කණගාටුවට පත්වෙන බව කී විමල් වීරවංශ මන්ත්‍රීවරයා, එතුමාට මෙවැනි තත්ත්වයකට පත්වෙන්න එතුමාගේ සහෝදරයා වන අවලස්සන ඇමරිකානුවා කටයුතු කළ බවද සඳහන් කළේය.

කෙසේ වෙතත් දැන් ඒ පරිච්ඡේදය අවසන් බව පිළිගත යුතුව ඇතැයි ද වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දැන්  සියලු පක්ෂ නියෝජනය වන පාලන තන්ත්‍රයක් ස්ථාපිත කළ යුතුව ඇතැයි කී විමල් වීරවංශ මන්ත්‍රීවරයා, උදව් කරපු රටවල් තරහා කරගත් ආණ්ඩුවට මේ ඩෙලාර් බිලියන 4ක 5ක ප්‍රශ්නයට උත්තර හොයන්න බැරි බවද සඳහන් කළේය.

රටේ වත්මන් අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 




''නව අගමැතිවරයෙක් පත්කර ගන්න ව්‍යවස්ථාපිත බලයක් තියෙනවා'' - හිටපු අගවිනිසුරු සරත් ද සිල්වා


මේ අතර හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා පවසන්නේ, යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බවයි.



පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වර්තමානයේ දී මතුව ඇති ආණ්ඩුව පිළිබඳ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් බව ද සරත් එන් සිල්වා කීවේය.

KISPFIහිටපු අගවිනිසුරුවරයා මෙසේ ද පැවසීය.

“රටේ ආණ්ඩුව පිළිබඳව යම්කිසි අර්බුදයක් මතුවී තිබෙනවා නම් එයට විසඳුම ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණයි. විධායකය දැන් සම්පූර්ණයෙන් කඩාවැටිලා. හැම තැනම ගියොත් ‘ගෝඨා ගෝ හෝම්’ කියනවා. අගමැතිතුමා දුබල වෙලා නිසා එතුමාත් අක්‍රීයයි. විධායකයෙන් අනෙක් අංගය වන කැබිනට් මණ්ඩලයක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා යෝජනා සම්මතයක් ගෙනාවා.

මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. පළමු ක්‍රමය නීති පැනවීමයි. දෙවැන්න ස්ථාවර නියෝග හෝ යෝජනා සම්මතය මගින්. 74 වන ව්‍යවස්ථාවේ මෙසේ ක්‍රියාත්මක විය හැකි බව තියෙනවා.


යෝජනා සම්මතය මගින් අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කරගැනීමේ ක්‍රමවේදයක් දැමිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා 113ක් පෙන්වන කෙනාට දෙන බව කියනවා. මේ වගේ වෙලාවක එතුමාගේ මතය අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්න නිසා අගමැතිධූරයට නම් යෝජනා කර රහස් ඡන්දයක් තුළින් සම්මත කරගත හැකියි. පළමු වටයේ බහුතරයක් නැත්නම් දෙවැනි වටයට යා හැකියි. අගමැතිවරයා දින 14කදී ඇමතිවරු 25කගේ නම් යෝජනා කළ යුතුයි. ඉන්පසු එයත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකියි. ඔය ක්‍රියාදාමය සති දෙකක් තුළ ඉවර වෙනවා. එමෙන්ම මෙය සර්වපාක්‍ෂික විය යුතුයි.

බහුතරය වෙන කෙනෙකුට ගිය සැණින් ඉන්න අගමැති අහෝසි වෙන නිසා වත්මන් අගමැතිවරයා ඉවත්වෙනවා. අපි මෙය පාර්ලිමේන්තුව තුළින් කරන බව කීවොත් ජනතාවගේ ඔය සැරත් යනවා. ඒ නිසා මෙය ඉක්මනින් කළ යුතුයි.”   

 

ජනපති-රනිල් අතර විශේෂ හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවූක් අද(7) පැවැත්විණ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුව ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිවරයා හමුවිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව පිළිබඳ මෙම හමුවේ දී ජනාධිපතිවරයා කරුණු සවිස්තරව විමසා ඇතැයි lankadeepa.lk වාර්තා කර තිබේ.

ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, ඉන්දියා සහ චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කරගෙන පිහිටුවීමට යෝජිත කමිටු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසු බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

රනිල් වික්‍රමසිංහ සමඟ විනාඩි කිහිපයක් සාකච්ඡා කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගියේය.

  


The Leader TV අද වීඩියෝ 
 
 
 
  

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්