"ගෙදර යන්න ගෝඨා" - තම බලාපොරොත්තු ඉටු කිරීමට අසමත්වීම පිළිබඳ චෝදනා පත්‍රයක් නම්,

 "225 එපා" පාර්ලිමේන්තු ක්‍රමය ම, පක්ෂ දේශපාලනය ම පිළිකුලෙන් වැමැරීමට දරන ප්‍රයත්නයක් නොවේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ගෙවිඳු කුමාරතුංග විමසා සිටියි.

'යුතුකම' ජාතික සංවිධානයේ සභාපතිවරයා ද එවැනි ප්‍රකාශයක් කළේ, රටේ පවතින තත්ත්වය පිළිබඳ අප්‍රේල් 07 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමිනි.

'යුතුකම' ජාතික සංවිධානය ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ 10ක මන්ත්‍රී කණ්ඩායමක් අප්‍රේල් 05 දා සිට පාර්ලිමේන්තුව තුළ ස්වාධින කණ්ඩායමක් ලෙස
කටයුතු කරයි.

අප්‍රේල් 07 වෙනිදා පාර්ලිමේන්තුවේදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේසඳහන් කළේය.


''ගෙදර යන්න ගෝඨා' ! ''
''225 ම එපා ! ''


''මේ විවාදය පවත්වන්නේ තීරණාත්මක මොහොතක. මව්බිමේ අනාගතය ඝන කළු වළාවන් ගෙන් වැසී, රටවැසි ජනතාව අනාථ ව අසරණ ව සිටින මොහොතක. 69 ලක්ෂයක් ජනතාව හදවතේ ආදරයත් සමඟින් පත් කරගත් ගෝඨාභය ජනාධිපතිතුමාට ගෙදර යන්න කියන මොහොතක. ඔබ මා ඇතුළු 225 දෙනා ම එපා යැ යි කියන මොහොතක. පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කෙරෙන මොහොතක. මේ පාර්ලිමේන්තුව ම ප්‍රතික්ෂේප කරන මොහොතක.

ගෑස් භාවිතයේ ඇති පහසු බව, පිරිසිදු බව කියාදෙමින්, දර ළිපේ, භූමිතෙල් ළිපේ ඉවුම්-පිහුම් කළ සැමට ගෑස් භාවිතය පුරුදු පුහුණු කරවනු ලැබ, මුළුතැන්ගේ ඒ අනුව හැඩගස්වා ගෙන ඇති ජනතාවකට ගෑස් සැපයීමට අසමත් වනවිට, විදුලිය ආශ්වාස-ප්‍රශ්වාස කරන වාතය තරමට අත්‍යවශ්‍ය කරගත් ජනතාවකට - 100%ක් විදුලිය සපයා ඇති බවට උදම් අනන සමාජයකට දිනයෙන් අඩකට වඩා විදුලි සැපයුම ලබාදිය නොහැකි තැනට පත්ව ඇති මොහොතක, පොදු ප්‍රවාහනය දියුණු කරනු වෙනුවට, සෑම රාජ්‍ය සේවකයකු ගේ ම, සෑම පුරවැසියකු ගේ ම පැතුම වාහනයක් හිමි කරගැනීම බවට පත් කළ සමාජයක ඩීසල් පෙට්‍රල් නැති වූ විට, ඒ ජනතාව පාරට ඒම අරුමයක් ද?

මුහුණ දීමට සිදුවන විපත දැක, එය පාලනය කිරීමට තැත් කළ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මැතිතුමාට උසුළු විසුළු කරමින්, බොරු බියක්, ව්‍යාජ සමාජ අසහනයක් ඇති කරන්නට උත්සාහ කරන්නකු ලෙස නාමකරණය කරමින්, රජය ම තමන් රැවටූ බව අවබෝධ කරගත් ජනතාව පාරට පැමිණීම අරුමයක් ද?



grtyer"ගෙදර යන්න ගෝඨා" කියන්නේ ජනාධිපති ගෝඨාභය ගැන පමණක් ම ද?


එහෙත් අද පාරට බැස සිටින ජනතාව ගේ සටන් පාඨ ඊට වඩා ගැඹුරකින් කියවිය යුතු බව අප ගේ, යුතුකම සංවිධානයේ අදහස යි. "ගෙදර යන්න ගෝඨා" කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන පමණක් ම ද? "225 ම එපා" කියන්නේ පාර්ලිමේන්තුවේ අද සිටින 225ට පමණක් ද? නැත්නම් මුළු පක්ෂ ක්‍රමයට ම ද? නො එසේ නම් මුළු පාර්ලිමේන්තු ක්‍රමයට ම ද?

 

පක්ෂ දේශපාලන ක්‍රමය තම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අසමත් බව අවිඥානිකව අවබෝධ කරගෙන 2015 දීත්, 2019 දීත් උත්තර සොයා ගොස් රැවටීම හැර, ව්‍යාජය හැර, සරණක්, පිහිටක්, ගමනක් නැති බව පසක් කරගත් ජනතාවක ගේ ඉකිගසා හඬාවැටීම, කෝප වී දෙස්දෙවොල් තැබීම නොවේ ද අප අද අත්-දකිමින් තිබෙන්නේ?



2015 දී සැබවින් ම සිදු වූයේ කුමක් ද? මේ රටේ ප්‍රභූ නායක්තවය - ශාන්ත තෝමස්, රාජකීය, සෙන්ට් බ්‍රිජට් පමණක් නොව ආනන්ද, නාලන්ද ආදී සියලු පාසල් අතික්‍රමණය කොට පොළොන්නරුවේ ග්‍රාම සේවක මහතකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ රාජ්‍ය නායකත්වයට ගෙන ඒම තුළ ජනතාව ප්‍රකාශ කළේ කුමක් ද?

පසු ව කවර තර්ක විතර්ක ඉදිරිපත් කළ ද, ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙක් නොවේ ද? ඒ මොහොතේ ම ඒ මහතා සර්ව පාක්ෂික අපේක්ෂකයෙක් ද වූවා නොවේ ද?

තම පක්ෂයෙන් නෙරපනු ලැබූ මේ නිර්ප්‍රභූ පුද්ගලයා වටා අවසානයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය මෙන් ම, එළියේ සිට ජනතා විමුක්ති පෙරමුණ පෙළ ගැසීම නැතහොත් පෙළගැස්වීම එදා අප දුටු ආකාරයට හුදු විජාතික කුමන්ත්‍රණයක් පමණක් ද?

ඒ පිටුපස විජාතික හස්තයක් වූ බවට සැකයක් නැත. එහෙත් ජනතා අභිලාෂ මල්ඵල ගන්වන්නට අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් සිදුකළ කාර්යභර්ය අප නිසි පරිදි අවබෝධ කර ගෙන තිබේ ද?



2015 වසරේ අප යුතුකම සංවිධානය පිහිටුවා, "වෙනස සැප ද?" සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන්නේ ජනතාව අපේක්ෂා කළ වෙනස, සාධාරණ සමාජය, නීතිගරුක සමාජය පිළිබඳ පැතුමන් ඉටු නොවන බව පෙනෙන්නට වූ විට ය. දින 100න් පසු ව, මහ බැංකු හොරකමින් පසු ව, "යහපාලන අපේක්ෂා ඉටුකරගත හැකි ද?" යන තේමාව යටතේ සංවාද මාලාවක් පැවැත්වූවා මතක ය.

2015 නොවැම්බරයේ දී ඩී. ඒ. රාජපක්ෂ සමරු දේශනය පවත්වමින් මේ රටේ දේශපාලන පක්ෂ සියල්ල යහපාලන රජය යටතට ගෙන ඇති මොහොතක, එදා නිදහස වෙනුවෙන් ජාතික සංවිධාන සියල්ල එක්සත් ජාතික පක්ෂය යටතේ ගොනුව තිබිය දී ඒ ජාතික අභිලාෂ ඉටු කළ නොහැකි වූ විට, 1952 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික අභිලාෂ වෙනුවෙන් පිහිටුවා ගත්තේ යම් සේ ද, එ ලෙස ම නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මතු ව ඇති බව පෙන්වා දෙන ලදි.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වීමට ඒ අදහස් මුල් වූ බව, බලපෑ බව, ඒ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ ව සිටි කවුරුත් දන්නා කරුණකි.



dfhgh


එහෙත් නැවත වතාවක් මේ රටේ ජනතාව තම නායකයා, මේ මව්බිමේ නායකයා සොයා ගියේ මේ පක්ෂ සියල්ලට පිටතිණි. පොදුජන පෙරමුණට ද පිටතනි. මෙදා ඔවුන් ගේ තේරීම වූයේ වෘත්තිකයෙකි. ත්‍රස්තවාදයට එරෙහි සටනට නායකත්වය දුන් ආරක්ෂක ලේකම්, කොළඹ නගරය ලස්සන කළ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සමඟින් වියත්මග ඔවුන් ගේ තේරීම විය.


අප මේ ජනතා අභිලාෂ නිසි පරිදි කියවා ඇත්තේ ද? මේ රටේ දැවැන්ත ම පක්ෂ දෙක - එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප ජනතාව අත්හැරියේ කෙතරම් සැහාල්ලුවෙන් ද? මේ රට ජනයා දේශපාලන පක්ෂ, පක්ෂ දේශපාලනය පිටුදකින බව අප නිවැරැදි ව අවබෝධ කරගත්තෙමු ද? මේ පාර්ලිමේන්තු ක්‍රමය ම පිටුදැකීමක් ලෙස අප නිවැරැදි ව වටහා ගත්තෙමු ද?

"ගෙදර යන්න ගෝඨා" - තම බලාපොරොත්තු ඉටු කිරීමට අසමත්වීම පිළිබඳ චෝදනා පත්‍රයක් නම් "225 එපා" පාර්ලිමේන්තු ක්‍රමය ම, පක්ෂ දේශපාලනය ම පිළිකුලෙන් වැමැරීමට දරන ප්‍රයත්නයක් නොවේ ද?

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්