ජනතාවගේ වෛරයට හා පිළිකුලට ලක්ව ඇති පිරිසකගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා හෙට (11) දිනයේ කටයුතු කළහොත්

ආණ්ඩුව තුල සිටින තවත් මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීන්දු කර තිබේ.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් එහි පෙරමුණ ගනු ඇතැයි පැවසේ. එවැනි තත්ත්වයක් මතුවුවහොත් රාජපක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 සරල බහුතරය අහිමිවනු ඇත.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්, මෑතකදී ස්වාධීන වූ 42 ක මන්ත්‍රීවරුන් කණ්ඩායම තවමත් තීරණයක් ගෙන නොමැති අතර ජනාධිපතිවරයා සමග අද (10) රාත්‍රී පැවැත්වීමට නියමිත සාකච්ජාවෙන් පසු ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තාවේ.

 

නව අගමැතිවරයකු යටතේ, සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් එකඟතාවක් පළ නො වන්නේ නම්, විශ්වාසභංග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ''ලංකාදීප' පුවත්පතට පවසා ඇත.

 

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම අප්‍රේල් 08 දා ආරම්භ කළ අතර, මන්ත්‍රීවරුන් හතලිහකට ආසන්න සංඛ්‍යාවක් එදින ඊට අත්සන් කර ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

විස්වාස භංග යෝජනාවට අමතරව සමගි ජන බලවේගය තවත් ලියවිල්කට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගනිමින් සිටින අතර,එය ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය කපා හැරීමක් හෝ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාවක් හෝ විය හැකි බව සමගි ජන බලවේගයේ ප්‍රකාශයේ 'ලංකාදීප' පුවත්පතට පවසා ඇත.

ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත දෝෂාභියෝගය කතානායකවරයා විසින් බාර නොගත හොත්, කතානායකවරයා ඉවත් කිරීමට ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඔහු සඳහන් සඳහන් කර තිබේ.


ජනාධිපතිවරයා සමග සාකච්ජාව තීරණාත්මකයි !

 

රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි හවුල්කාර පක්ෂ 11 සහ අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

 

රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වන යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ ඉඳගත් මන්ත්‍රීවරුන් 42 දෙනා වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුනේ පෙරේදා (08) පස්වරුවේ දී ය.  

අර්බුදයට විසඳුම් සෙවීමට සියලු පක්ෂ වලින් සැදුම්ලත් ජාතික විධායක සභාවක් පත් කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ එකඟතාව මත නව අගමැතිවරයකු හා සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසත් එමගින් යෝජනා කර ඇත.

එම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එක්ව කටයුතු කර, සීමිත කාලයක් තුළ මැතිවරණයකට යායුතු බව ද යෝජනාවලිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත්කර, අමාත්‍යංශ ගණන තීරණය කරන ලෙසත්, ඊට ගැළපෙන ලෙස සියලු පක්ෂ වලින් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ලෙසත් එම ලිපිය මගින් යෝජනා කර ඇත.

මීට අමතරව, අර්බුදය විසඳීම සඳහා කෙටිකාලීන හා මැද කාලීන වැඩ පිළිවෙළක් ද එම ලිපිය මගින් යෝජනා කර ඇත.


විපක්ෂ නායකවරයා සමග විශේෂ සාකච්ජාවක් !


වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම අද (10) පෙරවරුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වීමට නියමිතය.

එසේම, මෑතකදී ස්වාධීන වූ 42 ක මන්ත්‍රීවරුන් කණ්ඩායම අද සවස 3.00 ට රැස්වන අතර අනතුරුව ඔවුන් පිරිස සවස 5.00ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිල නිවසේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ස්වාධීන වූ 42 ක මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇත්තේ අද රාත්‍රී 7.00 ට ය.



සබැඳි පුවත් :

 
 

ෆොනී අගමැතිකමට ඉව අල්ලයි!
 
 
 

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්