පාස්කු ප්‍රහාරයට අදාළව කරන පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න 20 ක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට යොමු කළ බව කතෝලික සභාව පවසයි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, අප්‍රේල් 12 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව පැහැදිලි කළේ, සහරාන් හෂීම් පටිගත කල බව කියන වීඩියෝවක්ද ප්‍රදර්ශනය කරමින්ය.
\
"සමාජයේ ඇතැම් කොටස් කියාගෙන යනවා රජය බලයට පත්වුණේ පාස්කු ප්‍රහාරය විකුණගෙන කියලා. දැන් මෙතන චෝදනාව ඇති වෙන්නේ ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා මෙම කුමන්ත්‍රණයක් සිදුවුණා. මේක පිටුපස්සේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා කියලා."
"මම ඉතාමත්ම වගකීමෙන් කියන්න ඕනේ. ඒවගේ ප්‍රහාරයක් ඇහුණහම මට තියෙන ප්‍රශ්නය ඒ තමයි සිංහල බෞද්ධ කෙනෙක්ව රටේ නායකයා කරන්න ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ආගමක් වන ඉස්ලාම් ධර්මය වැරදි විදිහට අර්තකථනය කරලා මොලය විකල් කරපු ඉස්ලාම් ආගම අදහන අට දෙනෙක් ජීවිත පූජා කරයිද කියලා සිංහළ බෞද්ධයකේව රටේ ජනාධිපති කරන්න." ආරක්ෂක ලේකම්වරයා මෙහිදී විමසා සිටියේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ කියා සිටියේ සහරාන් හිෂීම් සහ නවුෆර් මව්ලවී ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයින් දෙදෙනා බවට හඳුනා ගෙන ඇති බවයි.කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා
මේ අතර, පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව කතෝලික සභාවට මතුව ඇති ප්‍රශ්න මාලාවක් මෙසේ යොමුකළ බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කියා සිටියේය.
එම ප්‍රශ්න 20 මෙසේය:
1- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන නායකයින් ආරක්ෂා කරන්නට රාජ්‍ය සේවකයෙකු වන කමල් ගුණරත්න මහතාට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?
2- පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බව බරපතළ ලෙස චෝදනා ලැබ සිටින අවස්ථාවක එය එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවන බව ඔප්පු කිරීමට මේ දක්වා කර ඇති විමර්ශන කවරේද? කළා නම් ඒවායේ වාර්තා කොහිද?
3- ඇමරිකාවේ FBI ආයතනය විසින් කළ පරීක්ෂණ වාර්තාවක් වෙත සිත යොමු කරන කමල් ගුණරත්න මහතාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී FBI ආයතනය විසින් සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකුගේ පුද්ගලයකුගේ IP ලිපිනය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවල ප්‍රතිඵල ගැන සඳහන් නොකරන්නේ ඇයි? එම IP ලිපිනයේ හිමිකරු කැඳවා CID ය ප්‍රශ්න කළ අවස්ථාවේදී හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂක එය වැළැක්වූයේ කාගේ නියෝගය මත ද? පරීක්ෂණ කටයුතුවලට කළ එම බාධා කිරීම් සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද?
4- පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීමට අන්තර් ජාතික රහස් ඔත්තු සේවාවල සහය පැතුවා නම් ඒ පිළිබඳ මුලින්ම අනතුර ඇඟවීම් සහ නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මහතා අතට පත් කළ ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහය ගෙන පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ?
5- උදාහරණයක් ලෙස සාරා ජෙස්මින් පිළිබඳ ඇත්ත සොයා ගැනීමට ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහය ඉල්ලුවාද? එවැනි සහයක් ලැබුණ ද නැද්ද?
6- වසර තුනක විමර්ශනවලින් පසු ආරක්ෂක ලේකම්වරයාට පෙන්වන්න තිබෙන්නේ වසර තුනකට කලින් ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් පටිගත කළා යැයි කියන වීඩියෝවක් නම් වසර තුනක් තිස්සේ අපමණ මුදල් වැයකර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ වග විභාග කිරීමට ජනාධිපති කොමිසමක් නඩත්තු කළේ ඇයි?
7- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අප අසන සෑම ප්‍රශ්නයකටම උත්තරය සහරාන් හෂීම්ගේ ප්‍රකාශයේ තිබෙනවා නම් එම ප්‍රකාශය පාස්කු ප්‍රහාරය පිළිබඳ සමස්ත සත්‍ය ලෙස ඉදිරිපත් කිරීමට අවුරුදු තුනක් කල්ගත කළේ ඇයි.?
8- පාස්කු ප්‍රහාරයේ සමස්ත සත්‍ය සහරාන්ගේ පටිගත කළ වීඩියෝ පටයේ තිබෙනවා නම් සියලු ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අවුරුදු තුනක් තිස්සේ දිවා රෑ නොබලා ක්‍රියා කර සොයාගත් දේ කෝ ?
9- පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට චෝදනා, අධිචෝදනා නඩු ගොනු කිරීම ආදිය මහත් කැපවීමෙන් සහ පරිශ්‍රමයෙන් කළා නම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් එය වළක්වා ගැනීමට කටයුතු නොකර සිය රාජකාරි බරපතළ ලෙස පැහැර හැරි බවට ජනාධිපති කොමිසම විසින් නම් කර ඇති අය නිදොස් කොට නිදහස් වූණේ කෙසේද?
10- නිදොස් කොට නිදහස් කරනු ලැබූ එම පුද්ගලයින්ව එසේ නිදහස් කිරීමේදී අධිකරණය පැවසුවේ ඔවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නඩු ගොනු අසම්පූර්ණ බවකි. එසේ නම් වසර ගණනාවක් තිස්සේ ඉතා කැපවීමෙන් සිය කටයුතු කළා යැයි කියන නීතිපති දෙපාර්තමේන්තුව ගැන කමල් ගුණරත්න මහතා වගකීමෙන් කතා කරන්නේ කෙසේද?
11- අප මින් පෙර පෙන්වා දී ඇති පරිදි පාස්කු ප්‍රහාරය දියත් කළ මුස්ලිම් අන්තවාදීන් ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් අතින් මෙහෙයවනු ලැබුවේ යැයි යන චෝදනාව නිශ්ප්‍රභා කිරීමට ආරක්ෂක ලේකම් වරයා සතු විමර්ශන වාර්තා කවරේද ?
12- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර ඇති කරුණු අතර සහරාන් සහ ඔහුගේ පිරිස සමඟ බුද්ධි අංශය පැවැත්වූ ගනුදෙනු සම්බන්ධයෙන් දැනට කර ඇති විමර්ශනවල ප්‍රතිඵල කවරේද? උදාහරණයක් ලෙස 'පොඩි සහරාන්' නැමැත්තාගේ සමීපතමයන් සම්බන්ධයෙන් කළ අනාවරණයන් හිදී ' සොනික් සොනික්' නම් පුද්ගලයා ගැන අවධානය යොමු විය. එම පුද්ගලයාගේ IP ලිපිනය විමර්ශනය කිරීමේ දී එය උප පොලිස් පරීක්ෂක 'බණ්ඩාර' නම් අයකුගේ බව හෙළි වුණු බවත් CIF ය ඔහුව ප්‍රශ්න කිරීමට යෑමේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ එම ප්‍රශ්න කිරීම නවතා දමමින් එය බුද්ධි මෙහෙයුමක් බවත් ප්‍රකාශ කළා නම්, එම බුද්ධි මෙහෙයුම කුමක්ද? එම මෙහෙයුම සොයා ගත්තේ කුමක්ද?
13- මෙම රජය බලයට පත්වූ වහාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කිරීමට එම අංශ නිලධාරීන් ප්‍රතිව්‍යුහගත කරමින් අපේක්ෂා කළා නම්, ඒ වන විටත් එම පරීක්ෂණ මෙහෙයවමින් සිටි නිලධාරීන් අනාවරණය කරගෙන තිබූ කරුණු ඔස්සේ පරීක්ෂණ ඉදිරියට නොගියේ කෙසේද?
14- එම විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටි නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ වගකීම් පැහැර හැරි බවට ජනාධිපති කොමිසම නම් කළ අය සිය තනතුරු වලින් පහ කරනවා වෙනුවට ඔවුන්ට උසස්වීම් දීමට තීරණය කළ දේශපාලනඥයින් කවුද?
15- සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගත් නාලක ද සිල්වා මහත්මාව අත්අඩංගුවට ගත්තේ කාගේ නියෝගය මත ද?
16- නාමල් කුමාර ජවනිකාවේ නිර්මාතෘ කවුද ?
17- පාස්කු ප්‍රහාරයෙන් පසු රට සන්සුන්ව තිබියදීත් අර්බුදයක් සහ ගැටුමක් නිර්මාණය කිරීමට සැලසුම් සහගතව සංවිධානය වෙමින් මුස්ලිම් දේවස්ථානවලට ගල් ගැසීමට සහ මුස්ලිම් ජනතාවටත්, සාප්පුවලට ගිනි තැබීමට පැමිණි සන්නද්ධ කණ්ඩායම් පිටුපස සිටින්නේ කවුදැයි රටට හෙළි කරන්නැයි කාදිනල් තුමා ඉදිරිපත් කළ ඉල්ලීමට තවම ප්‍රතිචාරයක් නැත්තෙ ඇයි?
18- සහරන්ගේ අන්තවාදයට තුඩුදුන් කරුණු වශයෙන් කමල් ගුණරත්න මහතා පෙන්නූ සහරාන්ගේ වීඩියෝ පටයේ ම ඇති දිගන, අලුත්ගම ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූයේ පොහොට්ටුවේ ඇතැම් පිරිසක් විසින් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය ගැන පරීක්ෂණ නොපවත්වන්නේ ඇයි?
19- සහරාන් ඇතුළු පිරිස සහරාන්ට ඉහළින් සිටි අයෙකු හෝ අයවලුන් විසින් මෙහෙයවනු ලැබූ බවට ජනාධිපති කොමිසම ද සැක පළ කරමින් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතු යැයි එම කොමිසම පෙන්වා දුන් කරුණු ඔස්සේ CID විමර්ශනයක් සිදු නොකර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවී යැයි ප්‍රකාශ කිරීම සියලු විමර්ශන අවසන් කළාට පසු කළයුතු නිගමනයක් වුවත් එම විමර්ශන අතරමග අත්හිටුවා එවැනි නිගමනයක් කිරීම පිළිගත හැකිද?
20- පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තබා පසුගිය ජනවාරි මාසේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ තබා තිබූ ජීව අත් බෝම්බය එහි තැබුවේ කවුදැයි අද වනතුරු රටට හෙළි කර ගැනීමට බැරි ආරක්ෂක ලේකම්වරයා පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර යළි රටේ ඇති නොවන බවට ජනතාවට සහතික වන්නේ කවර පදනමක් මත ද?