රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත

හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම ඇතුළත් අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බව බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර සිටියි.

එම විසැඳුමින් බැහැරව ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බව බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ සම ලේකම් ත්‍රීකුණාමලේ ආනන්ද මහානායක හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වේ.

උන්වහන්සේගේ ඊයේ (16) ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වේ.

“ අද බක් පුනු පොහෝ දවස. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට මේ පින් බිමට වැඩම කළේ අද වැනි පොහෝ දවසක. අද දවසේ ලක්වැසි මහ ජනතාව විවිධ ගැටලු‍ හා ප්‍රශ්නවලින් පෙළෙමින් දුකට පත් වී ඇති අයුරු මෙහි ලා විස්තර වශයෙන් පැවැසීම අවශ්‍ය නො වේ. දුකින් පෙළෙන ජනතාව ගේ ඉවැසීම දැන් ලිහිල් වී ඇත. ඔවුන් මහ පාරට බැස උද්ඝෝෂණය කිරීම පිළිබඳව කිසිවකුටවත් එරෙහි විය නොහැකි ය.

 

මහ ජනතාව සාමකාමී ලෙස ජාති - ආගම් - පක්ෂ භේදයකින් තොරව හඬ නඟන්නට පටන් ගෙන ඇත්තේ ඔවුනට වෙන විකල්පයක් නැති නිසා ය. ජනතා පරමාධිපත්‍යය ගැන ඉහළින් කතා කරන ඔබතුමාත් රජයත් ඊට සවන් දිය යුතුය.

 

ජනතාව ගේ ආර්ථික හා සෞඛ්‍ය ප්‍රශ්න උග්‍රව පැන නැඟී ඇති අවස්ථාවෙහි දීත් රජයේ ඇතැම් මැති ඇමැතිවරුන් ජනතා ප්‍රශ්න නොසලකා, නියම තතු වළහමින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විවිධාකාරයෙන් කළ වහසි බස් දෙඩවීම් හා ගැටලු‍ වළක්වාගත හැකි අවස්ථාවලදීත් ඒවා ගැන නො සලකා අත්තනෝමතික ලෙස තමතමන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් ආදිය නිසා ජනතාව තව තව ද ප්‍රකෝපයට පත් ව ඇත.

හේතු - ඵලවාදීව මේ ප්‍රශ්න දෙස නො බලා ඒවාට නිසි විසැඳුම් සොයා ගත නොහැකිය.

අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා අදාළ වන යෝජනා ඇතුළත් කොට ඉදිරිපත් කළ සන්දේශය පිළිබඳව රජය හෝ ප්‍රතිපක්ෂ හෝ මෙතෙක් අවධානය යොමු කැර නැත. සියලු‍ දේශපාලන පක්ෂ ඇති බලය රැක ගැනීමටත් නැති බලය ඩැහැ ගැනීමටත් දරන ප්‍රයත්නය මහා ජනතාවගේ පිළිකුලට භාජනව ඇත.

රජයේත් රටේත් මේ අස්ථාවරභාවය ජනතාව තව තව ද පීඩනයට පත් කරනු නොඅනුමානයි. ජනතා අර්බුදය විසැඳෙන සාකච්ඡාවක් හෝ ක්‍රියාමාර්ගයක් හෝ පාර්ලිමේන්තුව තුළ සිදු නොවන හෙයින් එක් අතකින් මන්ත්‍රීවරුන් 225 දෙනාම ජනතා අප්‍රසාදයට ලක්වීම සාධාරණ ය.

 

මේ උද්වේගකාරී අවස්ථාවෙහිදී රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා ජනතා පරමාධිපත්‍යයේ හඬට සාවධාන වී රාජ්‍ය බලයටත් වඩා ජනතා බලයට ඉඩ කඩ ලැබෙන පරිද්දෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇතැයි සිතමු. ප්‍රතිපක්ෂ නියෝජනය කරන සියලු‍ මන්ත්‍රීවරුන් ද තමන් ගේ භූමිකාව අර්ථවත් වන පරිද්දෙන් සියලු‍ වාද භේද හා පටු අපේක්ෂා අත්හැර ජනතාව හා රටේ ආර්ථිකය පැත්තෙන් බලා සාධාරණ සාමුහික විසැඳුම් මාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශ්‍යය.

 

එසේ හෙයින් දීර්ඝකාලීන විසැඳුම් මඟකට යන තෙක්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමැති මඩුල්ල ඉවත් කොට මධ්‍යස්ථ මහ ජනතාවගේ ප්‍රසාදය එක්තරා පමණකට හෝ දිනාගත් පක්ෂ - ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහ ජනතාව උග්‍ර ලෙස පෙළන ආර්ථික හා සමාජීය අර්බුදයෙන් වහ වහා මුදවා ගන්නා ලෙස කරුණාවෙන් දන්වමු.'

 ප්‍රතිපක්ෂවල සියලු‍ මන්ත්‍රීවරුන් ද මේ අර්බුදයෙහි බැරෑරුම් කම දූරදර්ශීව බුද්ධිමත්ව වටහාගෙන ජනතාව සුවපත් කරන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කැරගැනීමට උත්සුක වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

මෙම විසැඳුමින් බැහැරව සිතමින් ජනතාව ගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසිදිනෙක නිවැරැදි කැරගත නොහැකි වරදක් වන බව ද මේ සමඟම සඳහන් කරනු කැමැත්තෙමු.

අපගේ, මාතෘ භූමිය තුළ සාමකාමී සමෘද්ධිමත් දේශයක් ගොඩනංවා ගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද ඉක්මවා යන සියලු‍ ජාතිකයනට ද සියලු‍ ආගමිකයනට ද සියලු‍ පුරවැසියනට ද සාධාරණය හා යුක්තිය ඉටු වන “ධර්මතාන්ත්‍රික රාජ්‍යයක්” පිහිටුවා ගැනීමට උත්සුක වන ලෙස පක්ෂ - ප්‍රතිපක්ෂ - රටවැසි හැම දෙනා ගෙන් ම ශාසනාලයෙන් ඉල්ලා සිටිමු”



 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්