ආණ්ඩු පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් කිහිප දෙනෙකුම යලි කැබිනට් මණ්ඩලයට පත් නොකිරීමට

ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පලකරන ලෙස අගමැතිවරයා මෙරට ප්‍රකට හිමිවරුන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට (18) දිවුරුම්දීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය විසි දෙදෙනකුගෙන් පමණ සමන්විත වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ආණ්ඩුවට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය ඉකුත් 3 වැනිදා රාත්‍රියේ ඉල්ලා අස්වූ අතර පාර්ලිමේන්තුවේ සහ රජයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඇමතිවරු තිදෙනෙක් පමණක් ජනාධිපතිවරයා විසින් ඊට පසු දින පත්කරනු ලැබිය.    

හිටපු කැබිනට් අමාත්‍යවරුන් දස දෙනකු පමණ නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇති අතර ඉතිරි සියලු දෙනා තරුණ මන්ත්‍රීවරුන් බවද පැවසේ.

අමාත්‍ය මණ්ඩලයේ දැනට සිටින මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අලි සබ්‍ර් සහ ප්‍රසන්න රණතුංග  යන මහත්තුරුන්ට අමතරව වෛද්‍ය රමේෂ් පතිරණ, ඩග්ලස් දේවානන්ද, දිලුම් අමුණුගම ඇතුළු හිටපු ඇමතිවරුන් කිහිපදෙනකුට කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතය.



මේ අතර කාංචන විජේසේකර, රොෂාන් රණසිංහ, ඩී වී චානක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, ජානක වක්කුඹුර, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු රාජ්‍ය ඇමතිවරුන් පිරිසකට ද කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.




මේ අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට ජනාධිපතිවරයා පෙරේදා (16) රාත්‍රියේ දැනුම් දී ඇත්තේ මේ මොහොතේ තරුණ මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයට පත්කර ජනමතය වෙනස් කිරීමට තමාට සිදුව ඇති බවයි.

ඒ අනුව, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, එස් එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ඇමතිවරුන් ගණනාවක් අමාත්‍යධූරය අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ඩලස් අලහප්පෙරුම, රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන් අද (17) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුර බාර නොගන්නා බවය.

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු කැබිනට් මණ්ඩලයට පත් වීමත් සමඟ ඇතිවන පුරප්පාඩු සඳහා මහාචාර්ය චරිත හේරත්,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඩිලාන් පෙරේරා, එස් ඒ ඩී ජගත් කුමාර යන මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනකුටද රාජ්‍ය අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.



''එකම කුට්ටම ඇනීමෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ''

මේ අතර පාර්ලිමේන්තුව තුළ ස්වාධින වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ, එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බවයි.

රටේ ජනතාව ඇමති මණ්ඩල මෙලෙස පත් කිරීම පිළිනොගන්නා බවද ඔහු සඳහන් කළේය.

ජයසේකර මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සූදානම ගැන කළ විමසුමකදීය.

 


 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්